many-schools-likely-to-be-closed-due-to-heavy-rain

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ‘අර්නාබ්’ (ARNAB) සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ, පාසල් පවත්වාගෙන යාම පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.




ඒ අනුව අදාළ ප්‍රදේශවල පවතින ආපදා තත්ත්වය, ගංවතුර අවදානම මෙන්ම මාර්ග අවහිරතා වැනි කරුණු තක්සේරු කරමින් පාසල් තාවකාලිකව වසා තැබීම හෝ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තීරණය කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි. අයහපත් කාලගුණයෙන් පාසල් පද්ධතියට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව අමාත්‍යාංශය විශේෂ අවධානයකින් පසුවන බව ද හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම තීරණය මගින් දිවයිනේ සියලුම පාසල් වසා දමා ඇති බවක් අදහස් නොවන බැවින්, තම පාසල හෝ අදාළ අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන අනුව පමණක් කටයුතු කරන ලෙස අමාත්‍යාංශය දෙමාපියන්ට සහ සිසුන්ට දැනුම් දෙයි.




මෙම දැඩි කාලගුණික වෙනසට ප්‍රධාන හේතුව වී ඇත්තේ බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘අර්නාබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමයි. බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙම පද්ධතිය, අද රාත්‍රී 11.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්කේදී තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ලැබී ඇත. එහි ඉහළම අගය පුත්තලම දිස්ත්‍රික්කයේ කරන්දිපෝවල් ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 195.7කි. මීට අමතරව කුලියාපිටියෙන් මිලිමීටර් 193.0ක සහ ඉලුප්පයිකඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. ඉදිරියටත් උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට ද තද වැසි අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.



මේ අතර, මුහුදු ප්‍රදේශවල තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් අද පෙරවරු 9.30 ට නිකුත් කළ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වනු ඇත. අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත තද වැසි සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ. දැනටමත් එම මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කළ යුතු බවත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.