ulapane-sumangala-thero-begins-his-fight-for-gnanasara-thero-from-the-main-courtyard-of-the-dalada-maligawa-in-kandy

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිදුවීම මුල්කරගනිමින් මේ වන විට නීතිමය මෙන්ම සමාජීය වශයෙන් ද නව කතිකාවතක් නිර්මාණය වී තිබේ. උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර දළදා මාළිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය තවත් තීව්‍ර වී ඇත.

ඒ අනුව අද දිනයේදී දළදා මාලිගාව ඉදිරිපිට විශේෂ අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් පැවැත්වීමට ද නියමිතය.




මේ අතර, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඊයේ දිනයේදී අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ද ගොනු කරනු ලැබුවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය සහ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

මෙම අර්බුදය සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. ඥානසාර හිමියන් තම සංඝ සභාවට අයත් භික්ෂුවක් බැවින් උන්වහන්සේ චීවරයේ තබා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ බලය ඇත්තේ ද තම සංඝ සභාවට බව එම ලිපියෙන් අවධාරණය කර ඇත. තම සංඝ සභාව සහභාගි කර නොගෙන වෙනත් නායක ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ පෙරේදා පැවැත්වූ සාකච්ඡාව මාධ්‍ය ඔස්සේ දැකීමෙන් තම පාර්ශ්වය මවිතයට පත් වූ බවත්, එම සාකච්ඡාවේදී අදාළ කරුණ සුදුසු පරිදි විසඳී නොමැති බවට තමන් වහන්සේලා විශ්වාස කරන බවත් රාහුල අනුනායක හිමියන් පෙන්වා දෙනවා. එබැවින් ඥානසාර හිමියන් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, අදාළ අමාත්‍යවරුන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයට පැමිණෙන ලෙසත්, ඒ සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසත් මහනා හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යොමු කළ එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.




ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිපාණන්ගේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳව මල්වතු මහා විහාර පාර්ශ්වය ද මේ අතරතුර කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා. බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් මතු කළ කරුණු සාධාරණ බව එහිදී ජනාධිපතිවරයා පිළිගෙන තිබේ. එහෙත් පවතින නීතිමය රාමුව තුළ, වසර තුනකට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂූන් සිවුරු පිටින් බාහිරට ගෙන යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය බලයක් නොමැති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස, වසර තුනකට වැඩි කාලයකට සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය වෙත දැනුම් දී, එම නිකායේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක වන පරිදි නව රෙගුලාසි මාලාවක් සකස් කිරීමට මහා සංඝරත්නය විසින් යෝජනා කරනු ලැබුවා. අදාළ යෝජනාවට එකඟතාව පළ කළ ජනාධිපතිවරයා, සති දෙකක් ඇතුළත එම නව රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව මල්වතු පාර්ශ්වය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.