
පිලිපීනයේ මැනිලා නුවරදී අභිමානවත් ලෙස නිමාවට පත් වූ 12 වැනි ලෝක විවාහක සංචාරක රූ රැජින (Mrs Tourism World - 2026) තරගාවලියේ ප්‍රධාන කිරුළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ද වන නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වී තිබේ.
ලොව පුරා ප්‍රධාන පෙළේ රටවල් 20ක විවාහක රූමතියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා මෙම තරගාවලිය අතිඋත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබුණි. මෙම ප්‍රධාන කිරුළට අමතරව තරගාවලියට සමගාමීව පැවති තවත් අනු තරග රැසකම ජයග්‍රහණ සිය මව්බිමට දිනා දීමට ඇය එහිදී විශේෂ දක්ෂතාවක් දක්වා ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණයේ තවත් අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඇය සමඟ තරගාවලියට සහභාගී වූ ඇයගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා ද 'හොඳම සහායක සැමියා' (Best Supporting Husband) ලෙස එහිදී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළුතර බාලිකා ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, රුහුණු විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ තැනැත්තියකි. වෘත්තියෙන් රූපවාහිනී නිවේදිකාවක් වන ඇය මීට පෙර 2008 වසරේදී ලයන් ක්වීන් (Lion Queen) කිරුළ ද ජයග්‍රහණය කර තිබේ.
මෙම අන්තර්ජාතික ජයග්‍රහණයන්ගෙන් අනතුරුව එම යුවළ අද (05) අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරන යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියහ. එම අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම වෙනුවෙන් තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු කණ්ඩායම ද, නිමේෂා සහ මලිත් දෙපළගේ සමීපතම ඥාතීන් පිරිසක් ද ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටියහ.

