six-oics-including-the-oic-of-the-police-headquarters-were-arrested

පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපති තනතුරු හෙබවූ නිලධාරීන් හත් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.




ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊයේ (21) දින නිකුත් කරන ලද විශේෂ පොලිස් පණිවිඩයක් මගින් මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර ඇත.

මෙලෙස ස්ථානාධිපති තනතුරු වලින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති පිරිස අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වෙති. පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කැලණිය කොට්ඨාසය වෙත මාරු කර ඇති අතර, මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ මධ්‍යම කොට්ඨාසය වෙත යොමු කර ඇත.




මහරගම පොලිස් ස්ථානාධිපති තනතුර හෙබවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර කොට්ඨාසයටත්, මාදම්පේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කෑගල්ල කොට්ඨාසයටත්, රීදිගම ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මහනුවර කොට්ඨාසයටත් සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.

මීට අමතරව, මීපානායක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුර හෙබවූ පොලිස් පරීක්ෂකවරයා මන්නාරම කොට්ඨාසය වෙතද, ප්‍රියංකරගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා නිකවැරටිය කොට්ඨාසය වෙතද මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.



මේ අතර, මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පුරප්පාඩු වූ ස්ථානාධිපති තනතුර සඳහා නව පත් කිරීමක්ද සිදුකර ඇත. ඒ අනුව, රත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. වෙල්ලන්ගිරිය මහතා අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නව ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබේ.