එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්රියාකාරී සාමාජිකයකු මෙන්ම එම සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් යටතේ රියැදුරුවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු, ඉන්දියාවේ සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔහු ඉන්දියාවේ ට්රිචි විශේෂ කඳවුරේ වසර හතක කාලයක් රඳවා තැබීමෙන් පසු මෙලෙස ශ්රී ලංකාවට එවා ඇත.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය, සන්දිලිපායි ප්රදේශයේ පදිංචිකරුවෙකු වන පනස් හැවිරිදි කන්දසාමි ක්රිශ්ණකුමාර් නමැත්තෙකි. ඔහු 1991 වසරේ සිට 1993 දක්වා කාලය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සක්රීයව සම්බන්ධ වෙමින් තමිල් සෙල්වම්ගේ රියැදුරුවරයා ලෙස සේවය කර තිබේ. ඉන්පසුව එම සංවිධානයෙන් ඉවත් වී ඇති ඔහු, 2009 වසරේ සැප්තැම්බර් 13 වැනිදා ඉන්දියාවේ ට්රිචි නුවරට පලා ගොස් ඇත. එහි තාවකාලිකව පදිංචි වූ ක්රිශ්ණකුමාර්, ජීවිකාව ලෙස යළිත් රියැදුරු වෘත්තියේම නිරත වෙමින් සිට තිබේ.
කෙසේ වෙතත්, ඔහුගේ ඉන්දීය ජීවිතය වෙනස් වන්නේ 2015 වසරේ ජූලි 20 වැනිදා අසල්වැසියන් විසින් එරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරක් හේතුවෙනි. එම දැනුම්දීම මත ක්රියාත්මක වූ තමිල්නාඩු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන දින දහයක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීම් සිදු කර ඇත. ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පැවැත්වූ ඉන්දීය අධිකරණය, 2018 අප්රේල් 27 වැනිදා ඔහුට වසර දහයක සිරදඬුවමක් සහ ඉන්දීය රුපියල් 45,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.
එම අධිකරණ තීන්දුවට එරෙහිව 2022 වසරේදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළ අතර, එහි ප්රතිඵලයක් ලෙස සිය සිරදඬුවම වසර හතක් දක්වා අඩු කරගැනීමට ඔහු සමත් විය. ට්රිචි විශේෂ කඳවුරේ රඳවා තබා සිටිමින් එම දඬුවම් කාලය අවසන් කිරීමෙන් පසුව නිදහස ලැබූ කන්දසාමි ක්රිශ්ණකුමාර්ව ඉන්දීය බලධාරීන් විසින් මෙලෙස ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, 26 වැනිදා සවස 4.55 ට ඉන්දියාවේ ට්රිචි නුවර සිට පිටත් වූ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි. වසර ගණනාවකට පසු යළි දිවයිනට පැමිණි සැණින්, ගුවන් තොටුපොළේ රාජකාරියේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව සිය භාරයට ගෙන ඇත.