
මතුපිටින් බලන කල එය සාමාන්ය කුලී නිවසකි. එහෙත් පොල්ගස්ඕවිට, හල්පිට ප්රදේශයේ පිහිටි මාසිකව රුපියල් 35,000ක කුලියට ගත් එම නිවස තුළ ක්රියාත්මක වූයේ රුපියල් ලක්ෂ 56කට ආසන්න වටිනාකමකින් යුත් මහා පරිමාණ හෙරොයින් ජාවාරමකි.
ඊයේ (15) කැස්බෑව පොලිසිය විසින් මෙම නිවස වටලා සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඒ හරහා හෙළිවූයේ දිවයිනේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන්ගේ අඳුරු ජාලයකි.අත්අඩංගුවට ගත් පිරිස අතර අඹුසැමි යුවළක් ද සිටින බව පොලිසිය තහවුරු කරයි. වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 112ක්, විද්යුත් තරාදියක්, ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන මෙන්ම මත්ද්රව්ය ඇසුරුම් කිරීමට භාවිත කළ 'රතු ඉන්දියානුවෙකුගේ' ලාංඡනය සහිත කුඩා කඩදාසි තොගයක් ද පොලිස් භාරයට ගැනිණි.
මෙම ජාවාරමේ ප්රධාන සැකකරු මීට වසරකට පමණ පෙර කාන්තාවක සමඟ මෙම නිවස කුලියට ගෙන සෙසු සාමාජිකයන් ද සමඟ එක්ව ඉතා රහසිගතව ජාවාරම පවත්වාගෙන ගොස් ඇත. මොහු මත්ද්රව්ය චෝදනාවකට සිරගතව සිට මීට මාසයකට පෙර මහාධිකරණය මගින් ඇප මත මුදා හරින ලද අපරාධ කල්ලි සාමාජිකයෙකි. ඔහුගේ අපරාධ ඉතිහාසය ඊටත් වඩා භයානක ය. මීට මාස කිහිපයකට පෙර බොරලැස්ගමුව ප්රදේශයේ නිවසකට කඩා වැදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීම සහ එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට ද තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර යතුරුපැදියෙන් පලාගිය සැකකරු වන්නේ ද මොහු බව පොලිසිය අනාවරණය කරයි.
ප්රධාන සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම මත්ද්රව්ය තොගය සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන 'බෝධියවත්තේ අවිශ්ක' නමැත්තාට අයත් බවයි. ඔහුගේ උපදෙස් මත මත්ද්රව්ය අසුරා විවිධ ස්ථානවල තැබීම මොවුන්ගේ රාජකාරිය වී තිබේ. ඒ වෙනුවෙන් අපරාධ කල්ලි සාමාජික අවිශ්ක විසින් ප්රධාන සැකකරුට මසකට රුපියල් ලක්ෂයක වැටුපක් ලබා දී ඇති බව ද වැඩිදුරටත් අනාවරණය විය. ඊට අමතරව, මෙහිදී අත්අඩංගුවට පත් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු උඩවලව ඇතුළු ප්රදේශ ගණනාවක සොරකම්, කොල්ලකෑම් සහ මත්ද්රව්ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 26ක් පවතින අයෙකි. සෙසු අපරාධ කල්ලි සාමාජිකයන් සහ සාමාජිකාව ද මත්ද්රව්ය ඇතුළු විවිධ චෝදනා ලැබූවන් වෙති.
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක කේ.පී. කලන්සූරිය මහතාට ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීම සඳහා ඔවුන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
