
පසුගිය 09 වන දින උදෑසන කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි අවන්හල් හිමිකරුගේ බිරිඳ ද අද (11) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇගේ සැමියා වූ 'ඩ්‍රැගන් සම්පත්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තුෂාර සම්පත් එදිරිසිංහ නමැති අවන්හල් හිමිකරු එම ප්‍රහාරයෙන් එතැනම මිය ගිය අතර, නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ බිරිය ශිරෝමිද අවසානයේ ඒ අවාසනාවන්ත ඉරණමටම මුහුණ දුන්නාය.
දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ශිරෝමි සමරවීර සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටියාය. මෙම ඛේදවාචකය සිදුවන්නේ පසුගිය 09 වැනිදා උදෑසන 7.40 ට පමණය. සිය අවන්හල ඉදිරිපිට සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම අඹුසැමි යුවළට වෙඩි තබා පළා ගොස් තිබිණි.
මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් පළා යමින් සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ නාවල්අඩි හන්දියේදී මාර්ග බාධකයක් යොදා අදාළ බස් රථය නවතා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් 06ක් ද විශේෂ කාර්ය බළකායේ භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වන විට වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඩ්‍රැගන් සම්පත් නමැත්තා පාතාල ක්‍රියාකාරකම්හි නිරත 'කළුතර නවීන්' ගේ පාර්ශ්වය නියෝජනය කළ අයෙකු වූ බවත් ආරවුලක් මත මෙම ඝාතන සිදුවූ බවට ආරංචි වලින් කියැවිණි.
