සැප්තැම්බර් 30 වන දින ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (flydubai) මගී ගුවන් යානයක ඕමාන් ජාතික සහායක නියමුවෙකු විසින් එහි ප්‍රධාන නියමුවා වන ස්මිත් මචාර් මහතාට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ගුවන් යානය සෞදි අරාබියට හදිසි ගොඩබැස්සවීමක් සිදු කර ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබූ ප්‍රධාන නියමුවා කඩිනමින් රෝහල් ගත කර තිබේ.මෙම ගුවන් යානා ප්‍රහාරය සහ ඉරානය අතර කිසියම් සම්බන්ධතාවයක් පැවතිය හැකි බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්තෝබර් 1 වන දින ඉඟි පළ කළේය.
ඊශ්‍රායල බලධාරීන් මෙම සිද්ධිය හඳුන්වා දුන්නේ ඊශ්‍රායල ජාතික මගීන් විශාල පිරිසක් ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් දියත් කරන ලද ත්‍රස්තවාදී ප්‍රයත්නයක් ලෙසිනි. හදිසි ගොඩබැස්සවීම සිදුකළ සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මූලික පරීක්ෂණවලට ලක්කළ සැකකාර සහායක නියමුවා, වැඩිදුර විමර්ශන සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති අංශ වෙත භාර දී ඇත.වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන්ට අසන්නට ලැබෙන තොරතුරු අනුව සහායක නියමුවා සහ ඉරානය අතර සම්බන්ධයක් පවතින බවට වන ප්‍රශ්නයට පිළිතුර "ඔව්" යන්න බවයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කළේය. මේ අතර ෆොක්ස් නිව්ස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ මෙම ක්‍රියාව ඊශ්‍රායලය කෙරෙහි ඇති අන්තවාදී වෛරය මුල්කරගෙන සිදුවූවක් බවයි. යානයේ සිටි මගීන් 174 දෙනාගෙන් 166 දෙනෙකුම ඊශ්‍රායල ජාතිකයින් වී ඇති අතර, මෑතකදී තමන් විසින් සතුරු ප්‍රහාර සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් මෙමගින් සනාථ වී ඇති බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.මෙම සිදුවීමත් සමග ආරක්ෂක ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ගණනාවක් මතුවී තිබේ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති රටවල
නියමුවන්ට ඊශ්‍රායල ගුවන් තොටුපළවල් භාවිත කිරීම ඊශ්‍රායලය විසින් තහනම් කර තිබියදීත්, කිසිදු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් නොමැති ඕමානයට අයත් නියමුවෙකු ටෙල් අවිව් බලා ගිය යානයක සේවය කළේ කෙසේද යන්න බලධාරීන්ටද ගැටලුවකි. එමෙන්ම, ගුවන් කාර්ය මණ්ඩලය වෙනමම ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් වුවද, ඔහු යානය තුළට ආයුධයක් රැගෙන ආවේ කෙසේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. 2020 ඒබ්‍රහම් ගිවිසුමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් ආරක්ෂක විධිවිධාන යම් පමණකට ලිහිල් වී ඇති බවට විචාරකයෝ මත පළ කරති. තත්ත්වය සමනය වී පරීක්ෂණ අවසන් වන තුරු ඊශ්‍රායලය බලා යන තම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ෆ්ලයිඩුබායි ආයතනය පියවර ගෙන ඇත.සෞදි අරාබියේදී මූලික ප්‍රතිකාර ලැබූ සැකකාර සහායක නියමුවා
මේ වන විට අබුඩාබි වෙත පිටුවහල් කර තිබේ. ජාත්‍යන්තර ගුවන් සේවා නීතියට අනුව යානයක් තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් නීතිමය බලය හිමිවන්නේ අදාළ යානය ලියාපදිංචි කර ඇති රාජ්‍යයටයි. ඒ අනුව ඔහු ත්‍රස්තවාදී සබඳතා පිළිබඳ චෝදනා යටතේ එක්සත් අරාබි එමීර් බලධාරීන්ගේ පරීක්ෂණවලට ලක්වෙමින් සිටී. යානයේ මගීන් විසින් ප්‍රහාරය ව්‍යර්ථ කිරීමෙන් පසු සැකකරු තමා මරා දමන ලෙස කෑගැසූ බවට සාක්ෂිකරුවන් පවසන අතර, මෙයින් ඔහු යම් ආකාරයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබූ බවට සැක මතු වී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති හම්මඩ් අල් ෂම්සි සඳහන් කළේ
මෙම සිද්ධිය පිළිබඳව සහ සැකකරුගේ අරමුණු සෙවීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති බවත්, ඒ සඳහා ඊශ්‍රායල විමර්ශකයින්ද සෘජුවම එක්වනු ඇති බවත්ය.මේ අතරතුර, පිහි ඇනුම්වලින් දිවි බේරා ගනිමින් සහ කුටියේ දොර විවෘත කර ප්‍රහාරය ව්‍යර්ථ කළ ඉන්දීය ජාතික ප්‍රධාන නියමු ස්මිත් මචාර් කෙරෙහි දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබේ. මුම්බායි හි උපත ලබා ඇති ඔහු 2022 ජුනි මස සිට ෆ්ලයිඩුබායි ආයතනයේ සේවය කරන අතර, මීට පෙර ඉන්දියාවේ ස්පයිස්ජෙට් ආයතනයේ ප්‍රධාන නියමුවෙකු ලෙස වසර 11 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඔහුගේ මුළු පියාසර පැය ගණන 9,750 කි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහුව සැබෑ වීරයෙකු ලෙස හැඳින්වූ අතර, මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහු දැක්වූ අතිමහත් ධෛර්යය ඇගයීමට ලක් කළේය. ඊශ්‍රායල ජාතිකයින් විශාල පිරිසක් ඇතුළු 174 දෙනෙකුගේ ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් නෙතන්යාහු ද එක්ස් සමාජ මාධ්‍ය හරහා ඔහුට කෘතවේදීත්වය පළ කර තිබුණි. බරපතල තුවාල ලබා සිටි මචාර් මේ වන විට සෞදි අරාබියේ ප්‍රධාන රෝහලක ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.
