american-arrested-in-anuradhapura-for-allegedly-not-visiting-sigiriya

තම පුත්‍රයා සමඟ සීගිරිය නැරඹීමට යාමට අවසර නොදීම හේතුවෙන් උරණ වූ ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු බීමතින් පැමිණ නිවාස හිමියාට පිහියකින් ඇනීමට තැත් කර දේපළවලට ද හානි කිරීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුරය පළමු පියවර ප්‍රදේශයේ නිවසක ඉහළ මාලය කුලී පදනම මත ලබාගෙන සිටි 52 හැවිරිදි ඇමෙරිකන් ජාතිකයෙකි.




පොලිසිය සඳහන් කරන ආකාරයට, මෙම සංචාරකයා ඉකුත් අටවැනිදා සිට මෙම මස 26 වැනිදා දක්වා අදාළ නිවසේ ඉහළ මාලයේ පදිංචිව සිට ඇත. එහිදී නිවෙස් හිමිකරුගේ පුතා සමඟ සීගිරිය නැරඹීම සඳහා යාමට අවශ්‍ය බව ඇමෙරිකානුවා විසින් නිවෙස් හිමියාට දැනුම් දී ඇති අතර, ඊට හිමිකරු අකමැත්ත ප්‍රකාශ කර තිබේ.

නිවෙස් හිමියාගේ එම ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් දැඩි කෝපයට පත් වූ බව කියන ඇමෙරිකානු ජාතිකයා නිවසින් පිටතට ගොස් බීමත්ව යළි පැමිණ ඇත. එලෙස පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති ඔහු නිවසේ දේපළවලට ද පහර දී හානි සිදු කර තිබේ. අනතුරුව නිවෙස් හිමියාට පිහියකින් ඇනීමට ද ඔහු තැත් කර ඇති බව පොලිසිය පවසයි. එම පිහි පහර වළක්වා ගැනීමට යාමේදී ඇමෙරිකානු ජාතිකයා සහ නිවෙස් හිමිකරු අතර පොරබැඳීමක් ද සිදුවී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.




මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය, අනුරාධපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි අදාළ ඇමෙරිකානු ජාතිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

american-arrested-in-anuradhapura-for-allegedly-not-visiting-sigiriya