අතුරුදන්ව සිටි අග්බෝ හස්තියා නිරුපද්රිතව සොයාගැනීමට ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමට ඊයේ (19) උදෑසන හැකි විය. ආරක්ෂක අමාත්යාංශය පවසන පරිදි නාච්චාදූව රක්ෂිතයේ රැඳී සිටියදී සොයාගත් අග්බෝ, මේ වන විට යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
මෙම සොයාගැනීම පසුපස ඇත්තේ ගුවනින් සහ ගොඩබිමින් ක්රියාත්මක වූ දැවැන්ත ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකි. ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත ආරම්භ කෙරුණු මෙම මෙහෙයුමේ හැරවුම් ලක්ෂ්යය සටහන් වූයේ පෙරේදා (18) දිනයේදීය. ඒරුවැව ප්රදේශයේ සිට ඒ-9 ප්රධාන මාර්ගය හරහා ගමන් කර අග්බෝ ඇතා නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට ගමන් කර ඇති බවට ලැබුණු තොරතුරුත් සමඟ සෝදිසි කටයුතු එම කලාපය කේන්ද්ර කරගනිමින් තවදුරටත් පුළුල් කෙරිණි.
ඒ අනුව, දෙවැනි දිනටත් ඊයේ (19) උදෑසන තිරප්පනේ නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව මෙහෙයුම් කටයුතු ආරම්භ විය. මේ සඳහා 21 වැනි පාබල සේනාංකයේ නිලධාරීන් සිව්දෙනකුගේ නායකත්වයෙන් යුත් සෙබළුන් 50 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටියහ. ඊට සමගාමීව ගුවනින් සෝදිසි කිරීම සඳහා ශ්රී ලංකා යුද හමුදාවට අයත් එක් ඩ්රෝන යානයක් සහ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්රෝන යානා දෙකක් ද යොදාගෙන තිබුණි.
මෙම පුළුල් මෙහෙයුම සඳහා මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු හමුදා නිලධාරීන්ගෙන් මඟපෙන්වීම ලැබිණි. ඊට සමගාමීව, තිරප්පනේ අඩවි වනජීවී බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ වනජීවී මෙහෙයුම් සඳහා අවශ්ය මඟපෙන්වීම් ලබා දෙනු ලැබූහ.
සියලු අංශවල ඒකාබද්ධ සහ නොපසුබට උත්සාහයේ ප්රතිඵලයක් ලෙස ඊයේ උදෑසන නාච්චාදූව වැව් රක්ෂිතයේදී අග්බෝ යළි හමුවීමත් සමඟ මෙම මෙහෙයුම සාර්ථකව නිමාවට පත්විය.