a-tense-situation-during-a-football-match-at-sugathadasa-stadium---police-protection-for-referees

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති පාපන්දු තරගයක් අවසානයේදී දැකගත හැකි වූයේ ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා කරන සුලබ දසුනක් නොවේ. ප්‍රධානතම වෘත්තීය මට්ටමේ සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි හය වටය යටතේ කොළඹ පාපන්දු සමාජය සහ රෙඩ් ස්ටාර් කණ්ඩායම අතර පැවැති තරගය නිමාවට පත්වූයේ දැඩි නොසන්සුන්තාවයක් මධ්‍යයේය.

තරගය විනිශ්චය කළ ප්‍රධාන විනිසුරු චමල්ක රිද්මාල් ඇතුළු සහය විනිසුරුවන් වූ බුද්ධික ඩයස් සහ අසීෆ් අස්කාර් යන මහත්වරුන්ට තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගණයෙන් පිටවීමට සිදුවූයේ දැඩි පොලිස් රැකවල් මැදින් ය. ඒ, තරගය පුරා ඔවුන් ලබාදුන් මතභේදාත්මක විනිසුරු තීන්දු හේතුවෙන් එල්ල වූ දැඩි විරෝධය නිසාවෙනි.




මෙම නොසන්සුන්තාවයේ ආරම්භය සනිටුහන් වන්නේ තරගයේ 15 වැනි මිනිත්තුවේදීය. රෙඩ් ස්ටාර් ක්‍රීඩක මොහොමඩ් ඉජාස් විසින් එල්ල කරන ලද කෝනර් පහරකට ගෝල් කණුව ඉදිරියේ සිටි නයිජීරියානු ජාතික පීටර් සිල්වනුස් හිසෙන් පහරක් එල්ල කළේය. පන්දුව ගෝල් කණුවේ සීමා රේඛාව තුළ පතිත වී පැහැදිලි ගෝලයක් බවට පත්වෙද්දී, කොළඹ පාපන්දු සමාජයේ මැදපෙළ ක්‍රීඩක අහමඩ් සෂ්නි ඊට පහරක් එල්ල කරමින් එය වළක්වාලීමට උත්සාහ කළේය. රෙඩ් ස්ටාර් ක්‍රීඩකයන් එය ගෝලයක් ලෙස සංඥා කරන මෙන් දැඩිව ඉල්ලා සිටියද, විනිසුරුවරයා එම ඉල්ලීම නොතකා තරගය ඉදිරියටම ගෙන ගියේය. එම අවස්ථාවේදී ගෝලයක් ලබා දුන්නේ නම්, තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයකට පත්වී එහි මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබිණි.

කෙසේ වෙතත්, තරගයේ උණුසුම තවත් තීව්‍ර වූයේ 45 වැනි මිනිත්තුවේදී සිදුවූ නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙනි. රෙඩ් ස්ටාර් ක්‍රීඩක චමෝද් දිල්ෂාන් විසින් කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ ඉරාන ජාතික කුරෝෂ් මනීෂ් වෙත නීතිවිරෝධී ලෙස හිසෙන් පහරක් එල්ල කිරීමත් සමඟ තත්ත්වය තවත් උණුසුම් විය. එහි ප්‍රතිඵලයක් ලෙස චමෝද් දිල්ෂාන්ට රෙඩ් කාඩ් පෙන්වා පිටියෙන් නෙරපා හැරීමට විනිසුරුවරයා පියවර ගත්තේය. මෙම කලබලකාරී වාතාවරණය හමුවේ රෙඩ් ස්ටාර් කණ්ඩායම් කළමනාකාරිත්වයේ ආදහම් මරික්කාර්ට රෙඩ් කාඩ් අවවාදයක්ද, රිෆාස් සදීක්ට යෙලෝ කාඩ් අවවාදයක්ද ලබාදීමට විනිසුරුවරයාට සිදුවිය.




තරගය අවසන් වීමට ආසන්න වෙමින් තිබියදී, එනම් 85 වැනි මිනිත්තුවේදී, ක්‍රීඩකයන් සහ නරඹන්නන් අතර නොසන්සුන්තාව තවත් වර්ධනය කළ සිදුවීමක් වාර්තා විය. රෙඩ් ස්ටාර් මැදපෙළ ක්‍රීඩක මොහොමඩ් රිෂාඩ් පන්දුව ගෝල් කණුව වෙත ගෙනයමින් සිටියදී, කොළඹ පාපන්දු සමාජයේ ආරක්‍ෂක පෙළ ක්‍රීඩකයන් වන චරිත් රත්නායක සහ නිරාන් කනිෂ්ක ඔහු පසුපස ලුහුබැඳ ගියහ. දඬුවම් කලාපය තුළදී නිරාන් කනිෂ්කගේ නීතිවිරෝධී පහරක් මොහොමඩ් රිෂාඩ්ගේ පාදයේ දැවටීමෙන් ඔහු බිම ඇද වැටිණි. එය දඬුවම් පහරක් පිරිනැමිය යුතු අවස්ථාවක් වුවද, ප්‍රධාන විනිසුරුවරයා එය නොදැක්කා සේ ඉවත බලා ගැනීම ගැටුම්කාරී තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතු විය.

මේ සියලු මතභේදාත්මක සිදුවීම් සහ නොසන්සුන්තාවන් මධ්‍යයේ වුවද, තරගයේ ජයග්‍රහණය කොළඹ පාපන්දු සමාජය සතු විය. ඔවුන් රෙඩ් ස්ටාර් පිල පරාජයට පත් කළේ ගෝල 6-2 ක දැවැන්ත පරතරයකිනි. කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සියෝරා ලියොන් ජාතික ඉබ්‍රහිම් ලෙබ්බේ ගෝල 5 ක් වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ඊජිප්තු ජාතික මහමුද් අලී එල්ෂලී එක් ගෝලයක් වාර්තා කළේය. රෙඩ් ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ෆර්හත් සහ අසෙන්ඩේ ජෙරෝමී ගෝල වාර්තා කිරීමට සමත් වූහ. පිටිය තුළ දිස්වූ කලබලකාරී ස්වභාවය සහ විනිසුරු තීරණ පිළිබඳ විවේචන කොතරම් ප්‍රබල වුවද, අවසානයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සටහන් වූයේ කොළඹ පාපන්දු සමාජයේ දැවැන්ත ජයග්‍රහණයකි.

a-tense-situation-during-a-football-match-at-sugathadasa-stadium---police-protection-for-referees



a-tense-situation-during-a-football-match-at-sugathadasa-stadium---police-protection-for-referees



a-tense-situation-during-a-football-match-at-sugathadasa-stadium---police-protection-for-referees