a-serious-incident-at-the-kalutara-police-college

පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විසිර යාමේ පෙළපාළියට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, කළුතර පොලිස් විද්‍යාලයෙන් බරපතළ සිදුවීමක් වාර්තා වී තිබේ. ඒ, එහි ශිෂ්‍ය භට පාඨමාලාවක් හදාරමින් සිටි සිසුන් පිරිසකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර, ඔවුන්ට පහර දුන් බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට පත්වීමත් සමඟිනි.




කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරුවෙල 11 වන ජාතික ශිෂ්‍ය භට ඒකකයට අනුයුක්තව රාජකාරි කරන හමුදා කෝප්‍රල්වරයෙකි. ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව මෙම සැකකාර කෝප්‍රල්වරයා සිසුන් රැඳී සිටින භට නිවාස පරීක්ෂා කිරීම සඳහා පැමිණ තිබේ. එහිදී ඔහු ශිෂ්‍ය භටයින්ගේ ලිංග ප්‍රදේශ ස්පර්ශ කරමින් අපචාරයේ යෙදීමට උත්සාහ කර ඇති බවත්, ඊට විරෝධය පෑ සිසුන්ට ඔහු විසින් දැඩි සේ පහර දී ඇති බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, අතවර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සිසුන් ද එක්ව අදාළ කෝප්‍රල්වරයාට පහර දී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.




මෙම පහරදීමෙන් සහ අතවරයට ලක්වීමෙන් තුවාල ලැබූ ශිෂ්‍ය භටයින් හත්දෙනෙකු මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

අත්අඩංගුවට ගත් සැකකාර කෝප්‍රල්වරයා ද කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබේ. එහිදී තහවුරු වී ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවයි. ඊට අමතරව ඔහු විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ද දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව අදාළ පරීක්ෂණවලින් තවදුරටත් අනාවරණය වී ඇත.



මෙම සිදුවීම වාර්තා වන්නේ ලබන 25 වනදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ශිෂ්‍ය භටයින්ගේ විසිර යාමේ පෙළපාළිය පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකය. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීහු මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.