a-husband-who-has-remarried-has-a-question-about-which-wife-will-receive-the-widows-pension-after-his-death

ලියාපදිංචි විවාහයක නීත්‍යානුකූලභාවය තීරණය කිරීමේ බලය ඇත්තේ ඒ සඳහා බලයලත් උසස් අධිකරණයකට පමණක් බවත්, එම අධිකරණ බලය කිසිසේත්ම විශ්‍රාම වැටුප් බලධාරීන්ට අභ්‍යාස කළ නොහැකි බවත් අවධාරණය කරමින් අභියාචනාධිකරණය මෑතකදී වැදගත් නීතිමය තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.




කොළඹ මහා නගර සභාවේ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු (Machine Minder) ලෙස සේවය කර විශ්‍රාම ගත් සේවකයෙකුගේ බිරිඳකට, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥාපනත යටතේ ප්‍රතිලාභ අහිමි කිරීමට විශ්‍රාම වැටුප් බලධාරීන් ගෙන තිබූ තීරණයක් බලශූන්‍ය කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම නීතිමය ගැටලුව නිර්මාණය වන්නේ පෙත්සම්කාර විශ්‍රාමිකයාගේ විවාහයන් දෙකක් අතර වූ කාල පරතරයක් මුල් කරගනිමිනි. මීට පෙර විවාහ වී සිටි ඔහු, සිය පළමු බිරිඳගේ අනිෂ්ට අත්හැරයාම (malicious desertion) පදනම් කරගෙන ගම්පහ දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනු කර තිබුණි. 2000 වසරේ ජූලි 5 වන දින ඊට අදාළව ඔහුට පක්ෂව තීන්දුවක් ප්‍රකාශයට පත් කළ දිසා අධිකරණය, රුපියල් 50,000 ක ස්ථිර නඩත්තු මුදලක් ගෙවීමෙන් අනතුරුව ඔහුගේ දික්කසාදය පිළිබඳ 'decree nisi' නියෝගය 'absolute' (අවසානාත්මක) කිරීමට නියෝග කළේය.




අධිකරණ නියෝගයට අනුව ඔහු 2001 අප්‍රේල් 2 වන දින අදාළ නඩත්තු මුදල ගෙවා අවසන් කළේය. ඉන්පසුව 2001 මැයි 12 වන දින ඔහු සිය දෙවන විවාහයට එළඹුණු අතර, දිසා අධිකරණය විසින් 'decree nisi' නියෝගය අවසානාත්මකව 'absolute' කරනු ලැබුවේ ඉන් පසුව එනම් 2001 අගෝස්තු 24 වන දිනයි.

දශක දෙකකට කාලයකට පසු, 2021 දෙසැම්බර් 25 වන දින ඔහු සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මෙම විවාහ කාලසීමාවන්හි ඇති වූ තාක්ෂණික පරතරය අර්බුදයක් නිර්මාණය කළේය. දෙවන විවාහය සිදු වන අවස්ථාවේදී ඔහුගේ පළමු විවාහය නීත්‍යානුකූලව පවතී තිබුණු බව පවසමින්, ඔහුගේ වත්මන් බිරිඳට අදාළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අයිතිය පිළිගැනීම විශ්‍රාම වැටුප් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.



බිරිඳ සම්බන්ධයෙන් ගත් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් විශ්‍රාමිකයා විසින් ගොනු කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ සහ සසී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල, ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළහ. විශ්‍රාමික සේවකයා සිය දෙවන විවාහයට එළඹෙන අවස්ථාවේ පළමු විවාහය නීත්‍යානුකූලව පැවතියද, අදාළ නීති සම්පාදනය යටතේ විශ්‍රාම වැටුප් හිමිකම් තීරණය කිරීමේදී, පසුව සිදු වූ පළමු විවාහය අවලංගු කිරීම සැලකිල්ලට ගත යුතු බව විනිසුරු මඩුල්ල එහිදී පෙන්වා දුන්නේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා දැඩිව අවධාරණය කළේ, සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහයක වලංගුභාවය තීරණය කිරීම සඳහා විශ්‍රාම වැටුප් හිමිකම තීරණය කරන බලධාරීන්ට කිසිදු නීතිමය අධිකරණ බලයක් පැවරෙන්නේ නැති බවයි.

ඒ අනුව, පෙත්සම්කරුගේ බිරිඳගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම ප්‍රතික්ෂේප කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා ලබා දී තිබූ තීරණය certiorari රිට් ආඥාවක් මගින් සම්පූර්ණයෙන්ම බලශූන්‍ය කිරීමට අධිකරණය පියවර ගත්තේය. ඊට අමතරව, අදාළ ආඥාපනත යටතේ පෙත්සම්කරුගේ බිරිඳගේ හිමිකම පිළිගන්නා ලෙසත්, නීතියෙන් නියමිත ඊට අනුගාමී පියවර ගන්නා ලෙසත් අදාළ විශ්‍රාම වැටුප් බලධාරීන්ට බල කරමින් mandamus රිට් ආඥාවක් ද නිකුත් කෙරිණි.

මෙම නඩු විභාගයේදී පෙත්සම්කාර විශ්‍රාමිකයා වෙනුවෙන් නීතිඥ නෙමින්ද ජී. කාරියවසම් මහතාගේ උපදෙස් මත නීතිඥ නිලංග පෙරේරා මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූරි සේන් මහතා පෙනී සිටියේය.