සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අරමුදල් අයථා ලෙස භාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට අද (14) නියෝග කරන ලදී.
මීට අමතරව, සැකකාර හිටපු අමාත්යවරයා සම්බන්ධයෙන් ජාත්යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසද මහෙස්ත්රාත්වරයා විසින් නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙම වරෙන්තු නියෝගය නිකුත් කරනු ලැබුවේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද සවිස්තරාත්මක කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ අනාවරණය කළ කරුණු වලට අනුව, 2014 වසරේදී සංචාරක ප්රවර්ධන කාර්යාංශය වෙත වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් අදාළ ප්රවර්ධන කටයුතු සඳහා යොමු කර නොමැත. එම මුදල් උපයෝගී කරගනිමින් ඌව පළාත් සභා මැතිවරණ ප්රචාරණ කටයුතු වෙනුවෙන් ටී-ෂර්ට් 12,000ක් ලබා ගැනීම හරහා රජයට විශාල මූල්යමය පාඩුවක් සිදු කර ඇති බවට අධිකරණය හමුවේ කරුණු වාර්තා වී ඇත.
