wifes-uk-graduation-trip-case-postponed---ranil-comes-and-goes-in-court

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර ඇති නඩුව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා ලබන නොවැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරු විවෘත අධිකරණයේ පෙනී සිටියහ.




2023 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරය හොබවන සමයේ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගිය පෞද්ගලික සංචාරයකදී රුපියල් කෝටි එකහමාරකට අධික, එනම් රුපියල් ලක්ෂ 166කට වැඩි රජයේ මුදලක් අවභාවිත කර පාඩුවක් සිදුකළ බවට වන චෝදනාව මත මෙම නඩුකරය ගොනු කර තිබේ. මෙම සිද්ධියට අදාළව නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනාම මේ වන විට පසුවන්නේ ඇප මතය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 (3) වගන්තිය ප්‍රකාරව මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමධරි පියසේන මෙනවිය මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දී තිබිණි. විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බැවින් ඊට අදාළ උපදෙස් ලබාගැනීමට දින ලබාදෙන ලෙස රජයේ නීතිඥවරිය කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මීට පෙර නඩුව කැඳවීමට සැප්තැම්බර් 30 වැනිදා දින නියම කර තිබුණි.




එම නඩු වාරයේදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ, වියදම් වූ බව කියන මුදලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් වැයවී ඇත්තේ ප්‍රවාහන හා වාහන පහසුකම් වෙනුවෙන් බවයි. සිය සේවාදායකයාට අදාළ එම වාහන වියදම් බ්‍රිතාන්‍ය රජය විසින් දරා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ බව සනාථ කෙරෙන අදාළ ලිපි ලේඛන පැමිණිලි පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා බවද එහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.