
2026 වසරේ ඉන්දියාවේ සභාපතිත්වයෙන් යුතුව 18 වැනි බ්‍රික්ස් සමුළුව සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින තුළ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී පැවැත්විණි. “ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය, සහයෝගීතාව සහ තිරසාරත්වය ගොඩනැගීම” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවට සමගාමීව බ්‍රික්ස් සංවිධානයේ 20 වැනි සංවත්සරය ද සනිටුහන් කෙරිණි.
සමුළුවේ පළමු දිනයේදී එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ, දේශීය මුදල් ගෙවීම්, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ගාසා තීරයේ ගැටුම් සමනය කිරීම මෙන්ම 2025 අප්‍රේල් මාසයේ සිදුවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීම ඇතුළු කරුණු රැසක් ආවරණය වන පරිදි ඡේද 140කින් යුත් 'නවදිල්ලි ප්‍රකාශනය' නායකයින්ගේ ඒකමතික එකඟතාවයෙන් සම්මත කර ගන්නා ලදී.මෙම සමුළුව සඳහා පූර්ණ සාමාජික රටවල් 11ක නියෝජිතයින් සහභාගී වූ අතර, සත්කාරක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ වසර හතකට පසු ඉන්දියාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු රාජ්‍ය නායකයෝ ඊට එක්ව සිටියහ. බ්‍රසීලය සහ සෞදි අරාබිය රාජ්‍ය නායකයින් වෙනුවට විදේශ අමාත්‍ය මට්ටමේ නියෝජිතයින් යොමු කර තිබූ අතර, 2024 කසාන් සමුළුවේදී හවුල්කාර තත්ත්වය ලබා ගත් බෙලරුස්, බොලිවියාව, කියුබාව, කසකස්තානය, මැලේසියාව, නයිජීරියාව, තායිලන්තය, උගන්ඩාව, උස්බෙකිස්තානය සහ වියට්නාමය යන රටවල් 10ද සැප්තැම්බර් 13 වැනිදා පැවති විවෘත සැසිය සඳහා සහභාගී විය. මීට අමතරව කලාපීය සංවිධානවල සභාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ නව සංවර්ධන බැංකුවේ සභාපතිනිය ඇතුළු ආරාධිතයින් පිරිසක් ද මීට එක්ව සිටි නමුත් සමුළුව අතරතුර කිසිදු නව පූර්ණ සාමාජිකයෙකු හෝ හවුල්කාර රටක් ප්‍රකාශයට පත් නොකෙරිණි.
මෙම ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කේන්ද්‍රස්ථානය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ඉතා සීමිත කාර්යභාරයකි. ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු හෝ හවුල්කාර රටක් නොවන බැවින්, සභාපතිත්වය දැරූ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණේ කුඩා රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමකට පමණක් සීමා වූ, කතා කිරීමේ අවස්ථාවක් නොමැති ආරාධනාවක් පමණි. 2024 ඔක්තෝබර් මාසයේ රුසියාවේ පැවති කසාන් සමුළුවේදී ශ්‍රී ලංකාව පූර්ණ සාමාජිකත්වය සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා නිල වශයෙන් අයදුම් කළද, එකල පැවති දේශපාලන තත්ත්වයන් හේතුවෙන් රාජ්‍ය නායකයෙකු වෙනුවට විදේශ ලේකම්වරිය හරහා එය නියෝජනය කිරීමේ දුර්වලතා මෙන්ම ආර්ථිකයේ සහ ජනගහනයේ කුඩා බව ද ශ්‍රී ලංකාවට සාමාජිකත්වය අහිමි වීමට බලපාන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අයදුම්පත නිල වශයෙන් ප්‍රතික්ෂේප වී නොමැති අතර එය නව සාමාජිකයින් බඳවා ගැනීමේ එකඟතාව මත ඉදිරි සලකා බැලීම් සඳහා කල් දමා තිබේ.
අනෙකුත් නැගී එන ජාතීන් බ්‍රික්ස් හවුල්කාර රාමුව තුළ නිල වශයෙන් ඉදිරියට යද්දී, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා පැවතියද ශ්‍රී ලංකාවට මෙලෙස අසුනක් අහිමි වීම රාජ්‍ය තාන්ත්‍රික පසුබෑමක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති. හුදෙක් ලිපි යැවීමෙන් හෝ දේශපාලන උනන්දුවෙන් පමණක් ප්‍රතිඵල අත් කරගත නොහැකි අතර, අනෙකුත් සාමාජික සහ හවුල්කාර රටවල් ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරීව කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් බ්‍රික්ස් වෙත ශ්‍රී ලංකාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ ශක්තිමත් ලොබි කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මින් මනාව පැහැදිලි වේ. මෙම පසුබිම මධ්‍යයේ වුවද, සමුළුව අවසන් වූ වහාම එනම් 2026 සැප්තැම්බර් 14 වැනිදා, බ්‍රික්ස් සාමාජිකත්වය සහ නව සංවර්ධන බැංකුවේ ප්‍රවේශය ලබා ගැනීම සඳහා යළිත් වරක් ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, මීළඟ බ්‍රික්ස් සභාපතිත්වය චීනය විසින් දැරීමට නියමිතව ඇත.



