
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි විදේශ සංචාර නියෝජිත ආයතනයකට කඩා වැදී එහි හිමිකරු ඇතුළු පිරිස දණගස්වා රුපියල් කෝටි අටකට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන මහ මොළකරු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පළමු වැනිදා පස්වරු 6.00 ට පමණ මුහුණු ආවරණය කරගත් තියුණු ආයුධ සන්නද්ධ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ආයතනයට ඇතුළු වී විනාඩි තුනක් වැනි කෙටි කාලයකදී මෙම දේපළ කොල්ලකා පලාගොස් තිබිණි.
තලංගම පොලිස් වසමට අයත් මෙම සංකීර්ණ අපරාධයේ පූර්ණ විමර්ශන බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ නියෝග මත අපරාධ කොට්ඨාසය වෙත භාරදෙනු ලැබීය.මුල්ලේරියාව රෝහල පාර ක්‍රීඩාංගණය ආසන්නයේ වසර හතරක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිටි මෙම සැලසුම්කරු, ලද රහසිගත තොරතුරකට අනුව හබරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය. අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර අදාළ ආයතනයේ උප නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු අධික ලෙස ණය වී සිටි අයෙකි. ආයතන හිමිකරුට ද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් ගෙවීමට තිබූ අතර, මුල්ලේරියාව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මෙම ණය මුදල නොදී මගහැරීම සම්බන්ධයෙන් හිමිකරු විසින් සැකකරුට ප්‍රසිද්ධියේ බැණ වැදී ඇත. එහිදී ඇතිවූ දැඩි ලැජ්ජාව සහ වෛරය හේතුවෙන් මීට මාසයකට පෙර ඔහු මෙම කොල්ලය සැලසුම් කර තිබේ.
මෙම සැලසුම සඳහා සැකකරු නවගමුව පොලිසියේ හිටපු සිවිල් කම්කරුවකු වන පිළියන්දල සිද්ධමුල්ලේ පදිංචිකරුවෙකුගේ සහාය ලබාගෙන ඇති අතර, ඔහු මාර්ගයෙන් බෝමිරිය ප්‍රදේශයේ තවත් දෙදෙනෙකු සම්බන්ධ කරගෙන ඇත. කොල්ලය සිදු වූ දින උදෑසන සිද්ධමුල්ලේ පිහිටි නිවසේදී හමුවූ මොවුන්, හංවැල්ලේ මූල්‍ය ආයතන සේවකයකුගෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකට ව්‍යාජ අංක තහඩු සවිකරගෙන මෙම අපරාධයට පිටත්ව ගොස් තිබේ. මීට පෙර මුල්ලේරියාව උඩුමුල්ලෙන් යතුරුපැදියක් සොරාගෙන එයින් යාමට සැලසුම් කළද පසුව එය වෙනස් කර මෝටර් රථය යොදාගෙන ඇති අතර, කොල්ලය සිදුකරන අවස්ථාවේ රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ මෙම මහ මොළකරුය.
කොල්ලකන ලද රුපියල් හයකෝටි පනස් ලක්ෂයක මුදලින් සහ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 30 ක රන් භාණ්ඩවලින් මහ මොළකරු රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගෙන ඇත. හිටපු සිවිල් සේවකයාට රුපියල් කෝටි එකහමාරක් සමග රන් භාණ්ඩ තොගයත්, අනෙක් දෙදෙනාට රුපියල් අසූපන් ලක්ෂය බැගින්ද බෙදාදී තිබේ. සැකකරු තමාට ලැබුණු මුදලින් බිරිඳගේ මිතුරියකට ලක්ෂ 50 ක්ද, උගස් තැබූ ඉඩමක් බේරා ගැනීමට ඥාතියෙකුට ලක්ෂ 13 ක්ද ලබාදී ඇති අතර, මුල්ලේරියාවේ කාන්තාවන් තිදෙනෙකුට තිබූ ලක්ෂ 28 ක ණය බේරා ඇත. පොලිසිය විසින් සැකකරු සතුව තිබී රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයක මුදලක්, අපරාධයට යොදාගත් මෝටර් රථය සහ සොරාගත් යතුරුපැදිය භාරයට ගෙන තිබේ.
සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොල්ලයට සම්බන්ධ අනෙක් සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටී. මෙම වැටලීම බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජානක පෙරේරා සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික, උප පොලිස් පරීක්ෂක ශෙහාන් බස්නායක ඇතුළු පොලිස් සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් කණ්ඩායමක් විසින් සිදුකර ඇත.