the-child-is-one-year-old---warrant-issued-to-arrest-chamika-karunaratne

ගුවන් නියමුවරියක විසින් ගොනු කරන ලද ළමා නඩත්තු නඩුවකට අදාළව අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) වරෙන්තු නිකුත් කළේය.




මෙම නඩුව ගොනු කර ඇති ගුවන් නියමුවරිය වන සෙව්වන්දි සේනාධීර මහත්මිය පවසන්නේ, 2023 වසරේ පමණ ඔවුන් අතර පැවති සමීප සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස මීට අවුරුද්දකට පෙර 2025 සැප්තැම්බර් 29 වැනිදා උපත ලැබූ තම දරුවා වන ආර්යන් කරුණාරත්නගේ පියා චාමික කරුණාරත්න බවයි. ගැබ් ගැනීමෙන් පසු ඔහු තමන්ව මඟහැර පීතෘත්වය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බව පවසන ඇය, ඔහු දරුවාගේ පියා ලෙස නම් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඒ සඳහා පීතෘත්වය තහවුරු කිරීමට චාමික කරුණාරත්නගේ රුධිර සාම්පලයක් ලබාගෙන DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස පැමිණිලි පාර්ශවය ඉල්ලා සිටියද, ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබිණි. පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව මෙවැනි පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාගැනීමට අධිකරණයට බලයක් නොමැති බව ඔහු තර්ක කළ අතර, පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ කාන්තා හා ළමා කාර්යාංශයට ලබාදුන් ප්‍රකාශයකදී වගඋත්තරකරු මීට පෙර DNA පරීක්ෂණයකට එකඟතාවය පළ කර ඇති බවයි.




කෙසේ වෙතත්, කරුණු ප්‍රමාණවත් නොවන බව පවසමින් DNA පරීක්ෂණය සඳහා නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය අගෝස්තු 4 වැනිදා ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, ඊට අදාළ ලිඛිත කරුණු මැයි 13 වැනිදා ගොනු කරන ලෙසද නියෝග කර තිබිණි. දිසා අධිකරණයේ එම තීරණයට එරෙහිව පැමිණිලිකාර ගුවන් නියමුවරිය විසින් මේ වනවිට කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනයක් ද ගොනු කර ඇති අතර, මෙම නඩුව නැවත ඔක්තෝබර් 9 වැනිදා කැඳවීමට නියමිතව තිබේ.



මෙම සිදුවීමට මුහුණ දී සිටින කාන්තාව A320 සහ A330 වැනි ගුවන් යානා මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ ගුවන් නියමුවරියක් වීම විශේෂත්වයකි. ඇයගේ සොයුරියද ගුවන් නියමුවරියකි.
ඇය ගුවන් නියමුවරියක ලෙස සැරසී සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ පටයයේදී ඇය තරුණ පරම්පරාවට උපදෙස් දෙමින් පවසා ඇත්තේ සිහින විශ්වාස කරමින්, වෙහෙස මහන්සි වී වැඩ කරමින්, කිසිවෙකුට තමන්ව ආපසු ඇද දැමීමට ඉඩ නොදී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතු බවයි. 
සිද්ධියට මුහුණදුන් කාන්තාව තරුණ පරපුරට ස්වශක්තියෙන් නැගිටින ලෙස ලබාදෙන පණිවිඩයේ වීඩියෝව මෙතැනින් click here