2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව සාමාන්‍ය අධ්‍යාපන හා පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය පරීක්ෂා කිරීමේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී මෙම කරුණු විශේෂ අවධානයට ලක් විය.
නව පදනම යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්ව සමස්ත විෂයන් හතක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව 10 සහ 11 ශ්‍රේණි සඳහා වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට කටයුතු යොදා ඇති අතර, 12 සහ 13 ශ්‍රේණි උදෙසා සමාජ සංහිඳියාව, නීතිය සහ ආචාර ධර්ම පිළිබඳ මොඩියුල ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.
සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මුල් පියවර වශයෙන් 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය කෙරෙන මොඩියුල, ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම දැනටමත් අවසන් කර ඇත. ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වන අතර, මෙම නව අධ්‍යාපනික වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
එමෙන්ම රට පුරා පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමේ අරමුණින් ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර තිබේ. ඒ අනුව පෙර පාසල් නියාමනය කර ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම මෙන්ම පෙර පාසල් ගුරුවරුන් සඳහා වන පුහුණු වැඩසටහන් ද දැනට සිදු කෙරෙමින් පවතින බව එහිදී අනාවරණය විය.
