international-blue-warrant-issued-against-basil-who-is-hiding-in-america

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරමින් විවිධ ලෙඩ රෝග කියමින් උසාවිය මගහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිත කිරීමේ සිදුවීම ඇතුළු චෝදනා තුනක් මුල් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.සැකකරුවෙකු දැනට සිටින ස්ථානය, ඔහු භාවිතා කරන නම හෝ ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිල් නිවේදනයක් නිකුත් කරන අතර ඔහු අත්අඩංගුවට ගන්නට නම් රතු නිවේදනයක් ඊළගට අවශ්‍ය වේ.




මෙම ඉල්ලීමට අදාළව ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකාවෙන් වැඩිදුර තොරතුරු විමසා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය. ඊට ප්‍රතිචාර වශයෙන් අදාළ අවශ්‍ය ලේඛන සපයා දීමට මේ වන විට පියවර ගෙන ඇත.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ. ඔප්පු කළ නොහැකි ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් මාතර, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයෙන් අක්කර 1.5ක ඉඩමක් මිලදී ගැනීම සහ ඌව පළාත් සභා මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදවා ටී-ෂර්ට් 12,000ක් බෙදා හැරීම එම වරෙන්තු නිකුත් කිරීමට හේතු වූ ප්‍රධාන සිදුවීම් වේ.

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් (INTERPOL) සංවිධානය මගින් නිකුත් කරනු ලබන "රතු නිවේදන" (Red Notice) සාමාන්‍ය ව්‍යවහාරයේදී ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලෙස හැඳින්වුවද, නීතිමය වශයෙන් එය ස්වයංක්‍රීය ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොවේ.

යම් රටක අධිකරණයකින් නිකුත් කරන ලද වරෙන්තුවක් හෝ අධිකරණ නියෝගයක් පදනම් කරගනිමින්, අදාළ තැනැත්තා සිටින ස්ථානය සොයාගැනීමටත්, ඔහු තාවකාලිකව අත්අඩංගුවට ගෙන උදපර්පණය (Extradition) වැනි ඉදිරි නීතිමය ක්‍රියාවලීන් වෙත යොමු කිරීමටත් ලොව පුරා පොලිස් ආයතනවලින් ඉල්ලීමක් කිරීම මෙමගින් සිදුවේ. කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නේද නැද්ද යන්න තීරණය වන්නේ ඔහු සිටින රටේ පවතින දේශීය නීති පද්ධතියට අනුකූලවය.

ඉන්ටර්පෝල් සංවිධානය මගින් නිකුත් කරන රතු නිවේදන සහ නිල් නිවේදන (Blue Notice) අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පවතී. යම් නඩුවකට අදාළව අධිකරණය හමුවේ චෝදනා ලැබූ හෝ දඬුවම් නියම වූ පුද්ගලයෙකු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් භාවිත වන අතර, එහිදී බොහෝ අවස්ථාවල තාවකාලික අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට ඉඩ සැලසේ. ඊට වෙනස්ව, නිල් නිවේදනයක් නිකුත් කරනු ලබන්නේ යම් අපරාධ පරීක්ෂණයකට සම්බන්ධ පුද්ගලයෙකුගේ අනන්‍යතාව, ඔහු සිටින ස්ථානය හෝ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර තොරතුරු රැස්කර ගැනීමේ ප්‍රාථමික අරමුණෙනි.



එබැවින් සැකකරුවෙකු දැනට සිටින ස්ථානය, ඔහු භාවිතා කරන නම හෝ ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිල් නිවේදනයක් ප්‍රමාණවත් වන අතර, අදාළ පුද්ගලයා නඩු පැවරීම සඳහා සොයාගෙන නීත්‍යනුකූලව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ විට රතු නිවේදනයක් නිකුත් කිරීම සිදු කෙරේ. මෙහිදී නිල් නිවේදනයක් මගින් කෙළින්ම අත්අඩංගුවට ගැනීමක් ඉල්ලා සිටින්නේ නැත.

මීට අමතරව විවිධ කාර්යයන් සඳහා වර්ණ කිහිපයකින් යුත් නිවේදන නිකුත් කිරීමට ඉන්ටර්පෝල් සංවිධානය කටයුතු කරයි. ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයන් හෝ දරුවන් සෙවීමටත්, තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයන් හඳුනා ගැනීමටත් කහ නිවේදන (Yellow Notice) නිකුත් කෙරේ. මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලයන්ගේ අපරාධමය ක්‍රියාකාරකම් ගැන දැනුවත් කිරීමට කොළ නිවේදන (Green Notice) ද, හඳුනා නොගත් මළ සිරුරු පිළිබඳ තොරතුරු ලබාගැනීමට කළු නිවේදන (Black Notice) ද භාවිත වේ. යම් පුද්ගලයෙකු, වස්තුවක් හෝ සිදුවීමක් හේතුවෙන් මහජන ආරක්ෂාවට සිදුවිය හැකි බරපතළ හා ආසන්න අවදානම් පිළිබඳව දන්වා සිටීමට තැඹිලි නිවේදන (Orange Notice) යොදාගන්නා අතර, අපරාධකරුවන් භාවිත කරන ක්‍රමවේද සහ උපකරණ පිළිබඳ තොරතුරු හුවමාරු කරගනු ලබන්නේ දම් නිවේදන (Purple Notice) මාර්ගයෙනි.

international-blue-warrant-issued-against-basil-who-is-hiding-in-america