දේශීය සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රථම සජීවීකරණ කාටූන් නිර්මාණය දායාද කළ ප්‍රවීණ කලාකරුවෙකු මෙන්ම සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවූ අතර, පානදුර මූලික රෝහලේදී මෙම අභාවය සිදු වී තිබේ.
ශ්‍රී ලාංකේය සිනමාවට අලුත් මාවතක් විවර කරමින් 1979 වසරේදී තිරගත වූ 'දුටුගැමුණු' චිත්‍රපටය හරහා මෙරට පළමු සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔහු සමත් විය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයා වන ගිවන්ත අර්ථසාද් මහතා, දේශීය සිනමා සහ රූපවාහිනී ඉතිහාසය තුළ සජීවීකරණය මෙන්ම දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) ක්ෂේත්‍රයන්හිද ප්‍රමුඛතම පුරෝගාමියෙකු ලෙස දැක්විය හැකිය.
සජීවීකරණ නිර්මාණකරණයට පමණක් සීමා නොවූ ඒ මහතා චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය වැනි බහුවිධ ක්ෂේත්‍ර රැසක ස්වකීය නිපුණතාව ප්‍රදර්ශනය කළ අයෙකි. සිනමා තාක්ෂණය සහ එහි භාෂාව පිළිබඳව ලියැවුණු වැදගත් කෘතියක් වන 'සිනමා – මායා' ග්‍රන්ථයේ කතුවරයා වන්නේද ඔහුය. මීට අමතරව හෙතෙම කෙටි කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයද හොබවා ඇත.