galle-bonavista-principal-remanded-for-accepting-bribe-to-get-children-to-school

ගාල්ල, උණවටුන රූමස්සල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් වන බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පතිවරයා දරුවන් දෙදෙනෙකු පාසලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත. මෙලෙස රිමාන්ඩ් කරනු ලැබ ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි රංජිත් ෆොන්සේකා නමැති විදුහල්පතිවරයාය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා විසින් ඊයේ (08) මෙම නියෝගය ලබාදී තිබේ.




අදාළ දරුවන්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, 2026 වසරේදී මෙම දරුවන් දෙදෙනා පළමු ශ්‍රේණියට සහ අටවැනි ශ්‍රේණියට ඇතුළත් කරගැනීම සඳහා සැකකාර විදුහල්පතිවරයා මුලින්ම රුපියල් ලක්ෂ 06ක මුදලක් ඉල්ලා ඇත. පසුව එම අල්ලස් මුදල රුපියල් ලක්ෂ 03 දක්වා අඩුකර ඇති අතර, ඉන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් මුලින් ලබාගෙන තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ. එම මුදල ලබාගැනීමෙන් පසුවද සැකකරු තවදුරටත් අමතර මුදල් ඉල්ලා ඇති අතර, ඉතිරි මුදල ලබා නොදුන්නොත් දරුවන් පාසලෙන් ඉවත් කරන බවට තර්ජනය කර ඇති බවද පැමිණිලිකාර මව වැඩිදුරටත් චෝදනා කර සිටින්නීය.

ලැබුණු පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පෙරේදා (07) පස්වරුවේ ගාල්ල, හබරාදූව කටුගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී රුපියල් දෙලක්ෂ පනස්දහසක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් විදුහල්පතිවරයා ගාල්ල වරාය පොලීසියේ රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (08) පස්වරුවේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.