ඉඟිණියාගල පොලිස් බලප්‍රදේශයට අයත් කෙත්සිරිගම ගම්මානයේදී වන අලියෙකු කළ පහරදීමකින් ප්‍රදේශවාසී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ඉඟිණියාගල පොලිසිය පවසයි. මෙම අනපේක්ෂිත සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය 23 වැනිදා අලුයම 6.30 ත් 7.00 ත් අතර කාල පරාසය තුළදීය.
වනජීවී නිලධාරීන් සඳහන් කරන ආකාරයට, අදාළ වන අලියා රාත්‍රී කාලයේදී ගල්ඔය ජාතික වන උද්‍යානයේ සිට ගම්මානයට ඇතුළු වී තිබේ. අනතුරුව කෙත්සිරිගම පහළ කුඹුරුයායට අසන්නව පිහිටි කැලෑ රොදක සැඟවී සිටි මෙම වන අලියා පලවා හැරීම සඳහා ප්‍රදේශවාසීන් විසින් අලිවෙඩි පත්තු කර ඇත.
එලෙස පලවා හරින අවස්ථාවේදී කලබලයට පත් අලියා ඇළ මාර්ගයෙන් එගොඩ වී, කෙත්සිරිගම ගම්මානය මැදින් එක්ගල්ඔය රක්ෂිතය දෙසට පලාගොස් තිබේ. එසේ යන අතරතුර අතුරු මාර්ගයක ස්ථාන දෙකකදී හමු වූ අදාළ කාන්තාවට සහ පිරිමි පුද්ගලයාට වන අලියා පහරදී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ කෙත්සිරිගම පදිංචිකරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් වහාම දමන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අම්පාර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. රෝහල් ආරංචි මාර්ගවලට අනුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන නමුත්, පහරකෑමට ලක්වූ පිරිමි පුද්ගලයාගේ පාදයකට හානි සිදුවී ඇත.
