deputy-minister-chaturanga-who-was-embroiled-in-a-dispute-with-shawini-reveals-details-about-port-city-taxes

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ (SEZ) ලියාපදිංචි වන සමාගම් සඳහා ලබා දෙන බදු කොන්දේසි රජය විසින් අඛණ්ඩව වෙනස් කරන බවට තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙකු එල්ල කළ චෝදනාවක් මුල් කරගනිමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා LinkedIn සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධ සංවාදයකට පැටලී තිබේ. ආයෝජකයින්ගෙන් එල්ල වන දැඩි විවේචන හමුවේ වරාය නගරයේ බදු කොන්දේසි වෙනස් කර ඇති බවට නැගෙන චෝදනා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.




මෙම සංවාදය ආරම්භ වී ඇත්තේ අතථ්‍ය තාක්ෂණ (VR) සහ වෙබ් අඩවි නිර්මාණකරණ සමාගමක නිර්මාතෘවරියක වන ෂාවිනී ප්‍රනාන්දු තැබූ සටහනක් පදනම් කරගනිමිනි. පසුගිය වසරේදී වරාය නගරයේ තම සමාගම ලියාපදිංචි කිරීමට ඇය ඉල්ලුම් කර ඇත්තේ, වසර තුනක කාලයක් සඳහා සමාගම් සහ සේවකයින් වෙනුවෙන් කිසිදු බද්දක් අය නොකරන බවට ලද දැනුම්දීම මතය. එහෙත්, පසුව නීතිමය සංශෝධන හේතුවෙන් අදාළ ඉල්ලුම්පත්‍ර රඳවා තබා ගැනුණු අතර, පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති සාකච්ඡාවකදී සේවකයින් සඳහා 15% ක සහ සමාගම සඳහා 7% ක බදු අනුපාතයක් නියම වන බවට අලුතින් දැනුම් දී තිබේ. ඇය එම කොන්දේසිවලට එකඟ වෙමින් ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, එම කොන්දේසි නැවතත් වෙනස් වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියට අදාළ වන පරිදි සේවකයින් සඳහා 36% ක ආදායම් බදු අනුපාතයක් පැනවීමට කටයුතු කර ඇති බවත් ෂාවිනී ප්‍රනාන්දු චෝදනා කරන්නීය. මෙයින් තමන් ආයෝජනය සඳහා යොමු වූ මුල් ආකර්ෂණය සම්පූර්ණයෙන්ම අහෝසි වූ බව පවසන ඇය, රජය විසින් ආයෝජකයින් අසීරුතාවට පත්කරන බවට චෝදනා කරමින් තම ව්‍යාපාරික කටයුතු ඩුබායි වෙත ගෙනයෑම පිළිබඳව නැවත පරික්ෂා කර බලන බව ප්‍රකාශ කර තිබේ.




එම සටහනට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසා ඇත්තේ මෙය පුද්ගලික සාකච්ඡාවක් ලෙස සැළකිය නොහැකි බවයි. නීතිමය සංශෝධන පිළිබඳව වරාය නගර කොමිෂන් සභාව මගින් ආයෝජකයින් දැනුවත් කර තිබූ බවත්, සංශෝධන සිදුවන තෙක් ඉල්ලුම්පත්‍ර 90 කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා තිබූ බවත් ඔහු සඳහන් කළේය. සංශෝධිත නීතියට අනුව ප්‍රධාන භූමිය සහ වරාය නගරය අතර බදු පරතරයක් නොමැති අතර, සියලු පුද්ගලයින් දේශීය ආදායම් පනත යටතේ බදුවලට යටත් වන බව අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

පසුව ඇති වූ අවුල් සහගත තත්ත්වය පිළිබඳව කණගාටුව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, විදේශීය ආදායම් ලබන පුද්ගලයින් සඳහා 15% ක බදු අනුපාතයක් හිමිවන බව තමන් සාමාන්‍යයෙන් වටහාගෙන සිටි බවත්, වරාය නගරයේ අනුමත පුද්ගලයින් සඳහා මෙම රීතිය අදාළ වන ආකාරය පිළිබඳව ඉදිරියේදී වැඩිදුර පැහැදිලි කිරීමක් ලබා දෙන බවත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳව අදහස් දැක්වූ ආයතනික මූල්‍ය විශේෂඥ රසංජ පෙරේරා පෙන්වා දෙන්නේ, විදේශීය මුදලින් ශ්‍රී ලංකා බැංකු ගිණුමකට ලැබෙන ආදායම් සඳහා 15% ක බද්දක් ද, දේශීය ආදායම් ලෙස සැලකෙන මුදල් සඳහා 36% ක බද්දක් ද අය කෙරෙන බවයි. තම සමාගමේ ඇමරිකානු ඩොලර් ගිණුම හරහා සිදු කළ ගෙවීම් දේශීය ආදායම් ලෙස සලකා ඉහළ බදු අනුපාතයක් අය කිරීම මෙම ගැටලුවට මුල් වූ බව ෂාවිනී ප්‍රනාන්දු තහවුරු කර ඇත.



මෙම සිදුවීමත් සමග කලාපීය ආයෝජන කලාප හමුවේ වරාය නගරයේ තරගකාරීත්වය පිළිබඳව වෙනත් ආයෝජකයින් සහ වෘත්තිකයින් අතර ද දැඩි සංවාදයක් මතුව තිබේ. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) වැනි ස්ථානවල ආයතනික බදු 25% සිට බිංදුව දක්වා පහත හෙළමින් ආයෝජන ආකර්ෂණය කරගන්නා ආකාරය පෙන්වා දෙන නීතිඥයින් සහ ආයෝජකයින්, ශ්‍රී ලංකාව ද ආයෝජන ආකර්ෂණය කරගැනීමට නම් බදු ප්‍රතිපත්ති පිළිබඳව නිශ්චිත ස්ථාවරත්වයක් ලබා දිය යුතු බව පෙන්වා දෙති.