බ්‍රිතාන්‍යයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ග්ලොස්ටර්ෂයර් (Gloucestershire) හි RAF ෆෙයාෆර්ඩ් (RAF Fairford) ගුවන් කඳවුර ආශ්‍රිතව දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත් කර ඇති අතර, ත්‍රස්තවාදී ක්‍රියාවකට සූදානම් වීමේ සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් අදාළ ගුවන් කඳවුර අසල නවතා තිබූ වාහන කිහිපයක් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සිටින අතර, ඒ අවට පිහිටි නිවාසවල සිටි පවුල් අසූ පහක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.ඉරිදා අලුයම 00:45 ට පමණ මෙම ගුවන් කඳවුර දෙසට සැකකටයුතු වාහන තුනක් ගමන් කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම හදිසි මෙහෙයුම ආරම්භ වී තිබේ.
කඳවුරේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි වෙල්ෆර්ඩ් (Whelford) ගම්මානයේදී අදාළ සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගත් බවත්, එම ප්‍රදේශය වටා මීටර් 400 ක පමණ ආරක්ෂිත කලාපයක් ස්ථාපිත කර ඇති බවත් ප්‍රාදේශීය පොලිස් අංශ වැඩිදුරටත් තහවුරු කරයි. එමෙන්ම කැලෑබද ප්‍රදේශයක නවතා තිබූ සුදු පැහැති වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීම සඳහා දුරස්ථ පාලක රොබෝ යන්ත්‍රයක් යොදා ගන්නා අයුරු ගුවනේ සිට ලබාගත් දර්ශන මගින් තහවුරු වී ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු එක්සත් රාජධානියේ ත්‍රස්ත මර්දන පොලිස් ඒකකය (CTP) විසින් මෙහෙයවනු ලබන අතර, ඇමෙරිකානු හමුදාව ද ඊට පූර්ණ සහය ලබා දෙමින් තම නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටී. මූලිකව පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට 2000 ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන අතර, ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමකින් තොරව දින 14 ක් දක්වා රඳවා තබා ගැනීමේ බලය විමර්ශකයන්ට හිමි වේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, අත්අඩංගුවට ගත් පිරිස දැවැන්ත විනාශයක් සිදු කිරීමට සැලසුම් කර සිටි බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) මෙය දැඩි කනස්සල්ලට කරුණක් බවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් අවධාරණය කළේය. එරට ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටිං (Wes Streeting) ද ඇමෙරිකානු බලධාරීන් සමග මේ පිළිබඳව නිරන්තර සම්බන්ධතා පවත්වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. RAF ෆෙයාෆර්ඩ් කඳවුර යනු සීතල යුද්ධයේ සිටම ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් භාවිතා කරනු ලබන ප්‍රධාන මර්මස්ථානයක් වන අතර, මෑතකදී හිටපු බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්ගේ (Keir Starmer) අනුමැතියට අනුව ඉරානයට එරෙහිව එල්ල කළ ආරක්ෂක ප්‍රහාර සඳහා ද මෙම කඳවුර භාවිතයට ගෙන තිබුණි.
