48-passports-seized-to-make-fake-documents-for-visas

විදේශ වීසා බලපත්‍ර ලබාගැනීමේ කූට ජාවාරමක් සඳහා අන්සතු ගුවන්ගමන් බලපත්‍ර 48ක් සිය භාරයේ තබාගෙන සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයෙකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

වැටලීම අතරතුර සැකකරු සන්තකයේ තිබී ගුවන්ගමන් බලපත්‍ර සහ මුදල් නෝට්ටුවල දියසලකුණු පරීක්ෂා කිරීමට යොදාගන්නා 'බ්ලිසාර්ඩ් කැෂ් ටෙක්නොලොජි' (Blizzard cash technology) වර්ගයේ අනාවරක යන්ත්‍රයක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.




කඩුවෙල, ඉහළ බෝමිරිය, රන්මල් මාවතේ පිහිටි නිවසක සිට පුද්ගලයෙකු තානාපති කාර්යාල හරහා ව්‍යාජ ලෙස වීසා ලබාගැනීම සඳහා කූට ලේඛන සකස් කරන බවට නවගමුව පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් (101998) නිලධාරියාට තොරතුරක් ලැබී තිබිණි. එම තොරතුර මත පදනම්ව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු වසර පහක පමණ කාලයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කර ඇති බව හෙළි වී තිබේ. පසුව බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක සේවය කර ඇති සැකකරු, අදාළ ගුවන්ගමන් බලපත්‍ර ලබාගෙන ඇත්තේ එම ආයතනයේ සේවය කළ සමයේදී බව ප්‍රකාශ කර ඇත.




සංචාරක වීසා බලපත්‍ර මත විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයන් මීට පෙරද වෙනත් රටවල සංචාරය කර ඇති බව තානාපති කාර්යාලවලට ඇඟවීම සඳහා සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර තිබේ. ඒ සඳහා ඔහු පැරණි ගුවන්ගමන් බලපත්‍රවල අඩංගු වීසා කොටස් ඉතා සූක්ෂම ලෙස ගලවා අලුත් ගුවන්ගමන් බලපත්‍රවල අලවා දී ඇති අතර, ඒ වෙනුවෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 20,000ක මුදලක් අයකර ඇත.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් ගුවන්ගමන් බලපත්‍ර අතුරින් 15ක පමණ තිබූ වීසා කොටස් මේ වන විටත් ඉවත් කර ඇති බවයි. සැකකරු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.