sister-dies-two-days-after-norways-kings-funeral

නෝර්වේහි හිටපු හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු පැවැති අවමංගල්‍ය උත්සවයට සහභාගී වී දින දෙකකට පසුව, උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරිය වූ ඇස්ට්‍රිඩ් රාජකුමරිය වයස අවුරුදු 94 දී අභාවප්‍රාප්ත වී තිබේ. රාජකීය මාළිගය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිකුරාදා දිනයේදී ඇයගේ අභාවය සිදු වූ බවයි.




වසර 35 කට වැඩි කාලයක් නෝර්වේ රාජ්‍යයේ කිරුළ හෙබවූ 89 හැවිරිදි හැරල්ඩ් රජු ඉකුත් මස අභාවප්‍රාප්ත වූ අතර, පසුගිය බදාදා පැවැති උන්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය ඇස්ට්‍රිඩ් රාජකුමරිය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව විය. රාජකුමරියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අටවැනි හෝකොන් රජු ප්‍රකාශ කළේ, ඇය සිය දීර්ඝ ජීවිත කාලය පුරාම රාජකීය මාලිගය වෙනුවෙන් කැපවීමෙන් සහ සුහදශීලීව රාජකාරි ඉටු කළ බවයි.

ඔස්ලෝ නුවරදී උපත ලැබූ ඇස්ට්‍රිඩ් රාජකුමරිය, පස්වැනි ඕලෆ් රජුගේ සහ ස්වීඩනයේ මාර්තා ඔටුන්න හිමි කුමරියගේ දෙවැනි දියණියයි. දෙවැනි ලෝක යුද්ධ සමයේ එනම් 1940 වසරේදී ජර්මනිය විසින් නෝර්වේ රාජ්‍යය ආක්‍රමණය කිරීමත් සමඟ ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ වොෂින්ටන් ඩී.සී. වෙත පලාගිය අතර, යුද සමය නිම වීමෙන් පසු 1945 දී නැවත මව්බිමට පැමිණියාය.




1954 වසරේදී ඇගේ මවගේ හදිසි අභාවයෙන් පසුව, 22 හැවිරිදි වියේ පසුවූ ඇස්ට්‍රිඩ් රාජකුමරිය නෝර්වේ හි "පළමු කාන්තාව" ලෙස පැවරුණු අභියෝගාත්මක වගකීම් භාරගත්තාය. ඒ අනුව 1968 වසරේදී හැරල්ඩ් කුමරුගේ විවාහය සිදුවන තෙක්ම, සිය සීයා වූ සත්වැනි හෝකොන් රජු සහ පසුව සිය පියා වූ පස්වැනි ඕලෆ් රජු සමඟ එක්ව රාජකීය මාලිගයේ සූදානම් කිරීම් කටයුතු මෙන්ම දෙස් විදෙස්හි රාජ්‍ය නියෝජනයන් ද ඇය විසින් සිදුකරන ලදී.

ඇය 1961 වසරේදී නෝර්වේජියානු ව්‍යාපාරිකයෙකු මෙන්ම ඔලිම්පික් යාත්‍රා ක්‍රීඩකයෙකු වූ යොහාන් මාටින් ෆර්නර් සමඟ විවාහ වූවාය. එකල පැවති සාමාජීය මතයන් සහ සම්ප්‍රදායන් හේතුවෙන් සාමාන්‍ය වැසියෙකු සමඟ සිදුකළ මෙම විවාහය දැඩි ආන්දෝලනයකට ලක්විය. දරුවන් පස්දෙනෙකුගේ මව්පියන් වූ මෙම යුවල, 2015 වසරේදී ෆර්නර්ගේ අභාවය තෙක්ම එක්ව දිවි ගෙවූහ.



සිය දිවියේ අනූවන විය පසුකළ ද ඇය රාජකීය කටයුතු සහ අනුග්‍රාහකත්වයන් රැසක සක්‍රීයව නිරත වූ අතර, රාජකීය කිරුළට ප්‍රයෝජනවත් ලෙස සේවය කිරීම තමන්ගේ වගකීමක් ලෙස සලකන බව සිය 93 වැනි උපන්දින සමයේදී ඇය ප්‍රකාශ කර තිබුණි. තවද ඇයගේ අභාවය සිදු වන තෙක්ම, බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ජීවත්ව සිටි වයස්ගතම පරම්පරාගත නියෝජිතයා වූයේ ද ඇස්ට්‍රිඩ් රාජකුමරියයි.