8-moratuwa-university-students-arrested-for-assault

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ දියගම පිහිටි තාක්ෂණික පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී පළමු වසරේ සිසුවකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ දෙවැනි වසරේ සිසුන් අට දෙනෙකු කහතුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නේවාසිකාගාරය ආසන්නයේ රාත්‍රී කාලයේ රැඳී සිටීම මුල් කරගනිමින් ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එකී පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන 23 හැවිරිදි වියෙහි පසුවන සිසුන් පිරිසකි. මොවුන් රක්වාන, පස්සර, හික්කඩුව, මිනුවන්ගොඩ, අම්පාර, අනුරාධපුර, උඩුගංවිල සහ වැලිපැන්න යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පළමු සහ දෙවන වසර සිසුන්ගේ නේවාසිකාගාර දෙක අතර පිහිටි "සිරෝ ලෙවල්" නමැති පොදු ස්ථානයට බාහිර සිසුන්ට පැමිණීම දෙවන වසරේ සිසුන් විසින් තහනම් කර තිබී ඇත. පහර කෑමට ලක්වූ පළමු වසරේ සිසුවා රාත්‍රී 11.15 ට පමණ එම ස්ථානයේ රැඳී සිටිමින් දුරකථන ඇමතුමක නිරතව සිටියදී එතැනට පැමිණි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහුගෙන් කරුණු විමසා මෙලෙස පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.




පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පහරදුන් සිසුන් අතුරින් එක් සිසුවෙකු ද තමාට පහර දුන් බව පවසමින් පසුදින එම රෝහලටම ඇතුළත් වී ඇත. හෝමාගම මූලික රෝහල් පොලීසිය මගින් කළ දැනුම්දීමකට අනුව කහතුඩුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා මෙම සැකකාර සිසුන් අටදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.