පාරිභෝගිකයන්ට අලෙවි කරන පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් නිසි තොරතුරු සදහන් නොකර ඇසුරුම් කරන ලද තායි සිවුරු අලෙවි කළ මරදානේ වෙළෙද ආයතනයකට රුපියල් ලක්ෂයක (100,000/-) දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිතාරය පවසයි.
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් ඇසුරුම් කරන ලද තායි සිවුරු 06ක් අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, කොළඹ 10, මරදාන, පිහිටි ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව මෙම දඩ මුදල පනවා ඇති බව එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
මෙම වැටලියදී උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ ලිපිනය, දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය සඳහන් නොකළ ඇසුරුම් කරන ලද තායි සිවුරු අලෙවිය සඳහා ඉදිරිපත් කර තිරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ බව ද සභාපතිවරයා කීය. අටපිරිකර සහ සිවුරු සම්බන්ධයෙන් අඩු ගුණාත්මක භාවයෙන් යුත්, භාවිතයට අපහසු හෝ භාවිතයට නුසුදුසු භාණ්ඩ පිළිබඳ භික්ෂූන් වහන්සේලාගෙන් ද පැමිණිලි ලැබී ඇති බවත් ඇතැම් අටපිරිකර ඇසුරුම් තුළ පිරිකරට අදාළ නොවන හෝ ප්‍රායෝගිකව භාවිතයට නොගත හැකි භාණ්ඩ ඇතුළත් කර ඇති අවස්ථා වාර්තා වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
වෙළෙඳ පොළ තුළ නිෂ්පාදකයා, ආනයනකරු හෝ සැපයුම්කරු නිසි ලෙස හඳුනාගත නොහැකි සහ ගුණාත්මක භාවයෙන් තොර පිරිකර භාණ්ඩ වෙළෙඳ පොළට පැමිණීමේ අවදානමක් පවතින බවත් භාණ්ඩයේ මුලාශ්‍රය හඳුනාගත නොහැකි විට එහි ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක් ඇති වූ අවස්ථාවක වගකිවයුතු පාර්ශ්වය සොයා ගැනීමද අපහසු බවත් සභාපතිවරයා පැවසීය.මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස සභාපතිවරයා ඉල්ලීමක් කළේය.
