ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ ටෙස්ලා (Tesla) රථයක රියදුරු අසුනෙහි සිටි පුද්ගලයෙකු නින්දට වැටී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එම අවස්ථාවේදී අදාළ රථය ටෙස්ලා සමාගමේ පූර්ණ ස්වයං-රියදුරු (Full Self-Driving - FSD) තාක්ෂණය සක්‍රිය කර පැයට සැතපුම් 60ක (පැයට කිලෝමීටර 97ක පමණ) වේගයකින් ධාවනය වෙමින් පැවැති බව වාර්තා වේ.
විදේශීය මාධ්‍ය වාර්තා කළ ආකාරයට මෙම සිදුවීම කැලිෆෝනියා ප්‍රාන්තයේ සොලානෝ කලාපයේ (Solano County) අධිවේගී මාර්ගයකදී සිදුව ඇත. කළු පැහැති අව් කණ්නාඩි පැළඳ සිටි අදාළ රියදුරා රියදුරු අසුනේ පහත් වී නින්දට වැටී සිටින අයුරු එම මාර්ගයේ මුර සංචාරයේ යෙදී සිටි කැලිෆෝනියා අධිවේගී මාර්ග පොලිස් (CHP) යතුරුපැදි නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා රථය අසලට ගොස් රියදුරාගේ තත්ත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුව රථය නවත්වන ලෙස උපදෙස් දී ඇති අතර, අනතුරුදායක ලෙස අධික වේගයෙන් රථය ධාවනය කිරීම සහ රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇත.
මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන කැලිෆෝනියා අධිවේගී මාර්ග පොලිසිය විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, "රියදුරෙකු නින්දේ පසුවන විට ගමන් කළ හැකි ආරක්ෂිතම වේගය කොපමණද? පැයට සැතපුම් බිංදුවයි" යනුවෙන් එහි සටහන් කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදුකරන පොලිසිය සඳහන් කරන්නේ ටෙස්ලා හි FSD වැනි පද්ධතීන් පූර්ණ ස්වයංක්‍රීය රියදුරු පද්ධතීන් නොවන බවත්, ඒවා දෙවන මට්ටමේ (Level 2) රියදුරු සහයක පද්ධතීන් පමණක් වන බවත්ය. නීත්‍යානුකූලව මෙයින් අදහස් වන්නේ වාහනය ධාවනය කිරීමේ සම්පූර්ණ වගකීම පද්ධතිය වෙත පැවරෙන්නේ නැති අතර, එය රියදුරාට සහාය වීම පමණක් සිදුකරන බවයි. එම නිසා ස්වයංක්‍රීය තාක්ෂණය භාවිත කළද, වාහනය ගමන් ගන්නා අවස්ථාවේදී එහි සම්පූර්ණ නීතිමය වගකීම හිමිවන්නේ රියදුරාට වන අතර ධාවනය අතරතුර නින්දට වැටීම කැලිෆෝනියා රථවාහන ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමකි.
වාහනය ගමන් ගන්නා අතරතුර රියදුරන් සැමවිටම මාර්ගය කෙරෙහි අවධානයෙන් සිටිය යුතු අතර ඕනෑම මොහොතක සුක්කානමේ පාලනය තමන් වෙත ගැනීමට සූදානම්ව සිටිය යුතුය. "ඔබට කෙටි නින්දක් අවශ්‍ය නම්, එය රියදුරු අසුනේ නොව ආරක්ෂිතව නවතා ඇති වාහනයක් තුළ සිදු කරන්න" යනුවෙන් බලධාරීන් අවධාරණය කරයි. මේ අතර, ටෙස්ලා සමාගම ද FSD පද්ධතිය පූර්ණ ස්වයංක්‍රීය පද්ධතියක් ලෙස අර්ථ දක්වන්නේ නැති අතර, එම තාක්ෂණය භාවිත කරන අතරතුරදී රියදුරන් සැමවිටම අවධානයෙන් පසුවිය යුතු බවට උපදෙස් ලබා දෙයි.
