
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්ය හිඟය ඇතුළු ගැටලු කිහිපයකට ක්ෂණික විසඳුම් ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිරිපිටදී ඊයේ (02) කෑම පැයේදී පැවැත්විණි. සංජීව නානායක්කාර විසින් වාර්තා කරන ලද මෙම විරෝධතාව පිළිබඳව අදහස් දක්වමින් එම සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ බලධාරීන් සිය ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට අපොහොසත් වන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන බවයි.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකක කාලයක් ගතවී තිබුණද විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට පියවර ගෙන නොමැති බව චාරුදත්ත ඉලංගසිංහ මහතා පෙන්වා දෙයි. පද්ධතිය තුළ පවතින සියලුම ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැඩි ආචාර්යවරුන්ගේ හිඟයක් පවතින අතර, 2015 වසරේ සිටි ආචාර්යවරුන් අතුරින් 1,000කට ආසන්න පිරිසක් මේ වන විට විශ්වවිද්‍යාල හැර ගොස් තිබේ. දැනට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවය කරන්නේ ආචාර්යවරුන් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වුවද, පද්ධතියේ යථාර්ථවාදී අවශ්‍යතාවය 12,000ක් පමණ වේ.
එසේම 2014 සහ 2015 වසරවලදී විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලැබුවේ සිසුන් 25,000ක පමණ ප්‍රමාණයක් වුවද, 2025 වසර සඳහා සිසුන් 45,000ක් පමණ බඳවා ගැනීමට නියමිතව තිබීම විශ්වවිද්‍යාල පද්ධතියට දරාගත නොහැකි බරක් බව ද හෙතෙම පැහැදිලි කළේය. මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරිය සමඟ පැවැති සාකච්ඡාවලදී යම් එකඟතාවන්ට පැමිණියද, එම එකඟතාවන් අතුරින් කිසිවක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.