ලොව පුරා සිටින ජාත්‍යන්තර සිසුන් එක්සත් රාජධානිය වෙත අධ්‍යාපනය සඳහා ආකර්ෂණය කර ගැනීම කෙරෙහි ප්‍රකට බ්‍රිතාන්‍ය ප්‍රබන්ධ චරිතයක් වන පෙපා පිග් (Peppa Pig) විශාල දායකත්වයක් සපයන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) වෙනුවෙන් සෙන්සස්වයිඩ් (Censuswide) ආයතනය විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත.
එක්සත් රාජධානියට වැඩිපුරම සිසුන් එවන ප්‍රධාන රටවල් පහ වන ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ නයිජීරියාව යන රටවලින් වයස අවුරුදු 18 ත් 25 ත් අතර සිසුන් 500 බැගින් තෝරාගෙන, සමස්ත එක්සත් රාජධානිය පදනම් කරගත් සිසුන් 2,500 ක් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.එහිදී, බ්‍රිතාන්‍ය සංස්කෘතිය තමන් විදේශයක අධ්‍යාපනය ලැබීමට ස්ථානයක් තෝරා ගැනීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව සමීක්ෂණයට සහභාගි වූ සිසුන්ගෙන් සියයට 83 ක් පවසා ඇත. එමෙන්ම, ප්‍රබන්ධ බ්‍රිතාන්‍ය චරිත තම තීරණය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ බව සිසුන්ගෙන් සියයට 59 ක් ප්‍රකාශ කර තිබේ. එලෙස ප්‍රබන්ධ චරිතවල බලපෑමට ලක්වූවන්ගෙන් සියයට 19 ක්ම, 2004 වසරේදී බ්‍රිතාන්‍ය සජීවිකරණ ශිල්පීන් වන නෙවිල් ඇස්ට්ලි සහ මාක් බේකර් විසින් නිර්මාණය කරන ලද පෙපා පිග් ළමා රූපවාහිනී චරිතය හේතුවෙන් සිය තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 22 කගේ ජනප්‍රියතම තේරීම වී ඇත්තේ හැරී පොටර් චරිතය වන අතර, සියයට 21 ක් මිස්ටර් බීන් ද, තවත් සියයට 21 ක් ජේම්ස් බොන්ඩ් ද තෝරාගෙන තිබේ. මීට අමතරව, සිසුන්ගෙන් පහෙන් තුනකට වඩා (සියයට 62) පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය සංගීතය ඔවුන්ගේ තීරණයට ප්‍රධාන වශයෙන් බලපෑ බවයි. ඒ අතරින් එඩ් ෂීරන් (Ed Sheeran) සියයට 18 ක ප්‍රතිචාරයක් සමඟින් පෙරමුණ ගෙන ඇති අතර, ඩුවා ලිපා, කෝල්ඩ්ප්ලේ සහ හැරී ස්ටයිල්ස් ද වැඩි බලපෑමක් කළ සංගීතඥයන් අතරට එක්ව සිටිති.
සමීක්ෂණයට ලක් කළ සිසුන්ගෙන් සියයට 58 ක් බ්‍රිතාන්‍ය සංස්කෘතික නිරූපකයන් තම පැමිණීමට දැඩි බලපෑමක් කළ බව ප්‍රකාශ කර ඇති අතර, එහිදී දෙවන එලිසබෙත් රැජින සියයට 18 කින් ජනප්‍රියතම චරිතය වූ බවත්, ඩයනා කුමරිය, ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් සහ තුන්වන චාල්ස් රජු ඊට පසුපසින් සිටින බවත් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපනය පිළිබඳ අන්තර්කාලීන අධ්‍යක්ෂිකා කැට්‍රියෝනා මැකාර්ති (Catriona McCarthy) පෙන්වා දෙන්නේ, එක්සත් රාජධානිය එහි ලෝක මට්ටමේ උපාධි පාඨමාලා සහ උසස් අධ්‍යාපන ආයතනවල ගෝලීය කීර්තිය සඳහා ප්‍රසිද්ධියක් උසුලන නමුත්, බ්‍රිතාන්‍ය සංස්කෘතිය ද ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීමේ දැවැන්ත සාධකයක් බව මෙම සමීක්ෂණයෙන් මනාව පැහැදිලි වන බවයි. වැඩිවන තරගකාරීත්වයක් පවතින වර්තමාන කාලවකවානුවේදී ලොව පුරා සිටින හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා, උසස් අධ්‍යාපනය පිළිබඳ ගෝලීය නායකයා ලෙස එක්සත් රාජධානිය සිය ස්ථානය පවත්වා ගෙන යාමට සංස්කෘතිකමය වශයෙන් විචිත්‍රවත් වූ පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
