අංගොඩ, පෙතියාගොඩ පාරේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු අසල වෙළෙඳසැලකින් ටිපි ටිප් පැකට්ටුවක් මිලදී ගෙන නැවත නිවස බලා පාපැදියෙන් පැමිණෙමින් සිටියදී අනා ආරක්ෂිත වගා ළිඳකට පෙරළී යාමෙන් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මුල්ලේරියාව රාහුල විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලැබූ මෙම සිසුවාගේ පියා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරයි.
අඩි 20ක් පමණ ගැඹුරු මෙම වගා ළිඳට දරුවා වැටී පැයකට ආසන්න කාලයක් ගතවන තුරුත් කිසිවෙකුගේ අවධානය ඊට යොමුව නොතිබුණි. පසුව අසල නිවසක ඉහළ මාලයේ සිටි පුද්ගලයෙකු ළිඳ ආසන්නයේ පෙරළී තිබූ පාපැදිය දැක පරීක්ෂා කිරීමේදී, ජලයෙන් බුබුළු මතු වන අයුරුත්, කුඩා සෙරෙප්පු යුවළක් සහ ටිපි ටිප් පැකට්ටුවක් පාවෙමින් තිබෙන අයුරුත් නිරීක්ෂණය කර ඇත. වහා ක්‍රියාත්මක වූ ඔහු ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීමක නිරතව සිටි මේසන් බාස්වරුන් දෙදෙනෙකු කැඳවා, ඉණිමඟක් මාර්ගයෙන් ළිඳට බැස පතුලේ සිටි දරුවා ගොඩට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දරුවා මියගොස් සිටියේය.
ජීවිතක්ෂයට පත් කුඩා දරුවාගේ අවසන් කටයුතු ඊයේ දින උඩුමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කර ඇති අතර, අනතුරුදායක ලෙස මෙම ළිඳ පවත්වාගෙන ගිය ඉඩම් හිමියාට එරෙහිව ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කරති. මීට පෙරද කාන්තාවක මෙම ළිඳට වැටී ඇති බවත්, වතුපිටි මැදින් මහජනතාව කාලයක සිට ගමන් කරන බැවින් මෙවැනි අනතුරුදායක ස්ථානයක් වටා සුදුසු ආරක්ෂිත වැටක් ඉදිකිරීමට ඉඩම් හිමියා කටයුතු කර නොතිබූ බවත් ගම්වැසියෝ පවසති.
සිද්ධියෙන් පසුව ඉඩමට ඇතුළු වන මාර්ග ලෑලි යොදා වසා දමා ඇති බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන්, සිදුවිය යුතු සියල්ල සිදුවූ පසු මෙලෙස ආවරණය කිරීමෙන් පලක් නොමැති බව සඳහන් කළහ. නමට පමණක් වගා ළිඳක් ලෙස පැවතුණද එහි කිසිදු වගා කටයුත්තක් සිදු නොවන බවත්, පෞද්ගලික ඉඩමක වුවද මහජනතාවට අනතුරක් වන ලෙස මෙවැනි ළිං පවත්වාගෙන යාම නීති විරෝධී ක්‍රියාවක් බවත් අවමංගල්‍යයට එක්වූ පිරිස් වැඩිදුරටත් අවධාරණය කළහ.