යාපනයේදී අතුරුදන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අයගේ අතුරුදන් වීම පිළිබඳ නඩුව අද (29) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර, ඊට අදාළව හිටපු ජනාධිපති මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ සිය සාක්ෂි ලබා දීම සිදු කළේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනැගීමේ මුල් පෙළ ක්‍රියාකාරිකයන් ලෙස කටයුතු කළ මෙම දෙදෙනා 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී අතුරුදන් වූ අතර, ඒ සම්බන්ධයෙන් එම වසරේදීම අභියාචනාධිකරණයට ගොනු කළ හේබියස් කෝපස් (Habeas Corpus) පෙත්සමකට අනුව එහි කරුණු විමර්ශනය කිරීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරා තිබිණි. මෙම නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා යාපනය අධිකරණය මගින් මීට පෙර හිටපු ජනාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබුණද, ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඔහුට කොළඹ සිට අන්තර්ජාලය හරහා සාක්ෂි දීමට අධිකරණයෙන් අවසර ලැබී තිබුණි.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම ඉතා දිගු කාලයකට පෙර සිදුවූවක් බැවින් ඒ පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවයි. ආරක්ෂක අංශ වෙත ලැබෙන සෑම තොරතුරක්ම සෘජුවම ආරක්ෂක ලේකම්වරයා වෙත නොලැබෙන බවත්, විවිධ හේතූන් මත පුද්ගලයන් අතුරුදන් විය හැකි වුවද අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බැවින් එම සෑම අතුරුදන් වීමක්ම ජාතික ආරක්ෂක කවුන්සිලයේ අවධානයට යොමු නොවන බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.
ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත ජාතික ආරක්ෂක කවුන්සිලය තුළ තමන් සිවිල් නිලධාරියෙකු වශයෙන් ආයතන අතර සම්බන්ධීකරණ කටයුතු පමණක් සිදු කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය. භූමියේ සිදුවන සෘජු හමුදා හෝ පොලිස් මෙහෙයුම් සඳහා මැදිහත් වීමට තමන්ට නෛතික බලයක් නොතිබූ බවත් කිසිදු අයුතු ක්‍රියාවක් සඳහා තමන් උපදෙස් දී නොමැති බවත් අවධාරණය කළ ඔහු, එකල එල්ල වූ අතුරුදන්වීම් සහ පැහැරගැනීම් පිළිබඳ චෝදනා හුදෙක් දේශපාලන වාසි තකා රට අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ගෙනගිය ප්‍රචාර බවද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී අතුරුදන්වූවන් වෙනුවෙන් සත්‍යය හෙළිදරව් කරන ලෙස බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද සංවිධානය කර තිබිණි. වසර ගණනාවක් පුරා සිදු කළ අඛණ්ඩ නීතිමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපතිවරයාට මෙලෙස අධිකරණය හමුවේ සාක්ෂි දීමට සිදුව ඇති බවත්, යුක්තිය ඉටුවන තුරු සිය පාර්ශ්වය නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය, එදිනට ද යළි කොළඹ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට නියෝග කර ඇත.
