රුපියල් කෝටි තිහක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෑතකදී කඩවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි අටක්, විවිධ වර්ගයේ පතොරම් 534ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර, එම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම නව වැටලීම සිදු කර ඇත.
කඩවතදී අත්අඩංගුවට ගත් සැකකරු ලබා දුන් තොරතුරුවලට අනුව මහරගමදී හුවමාරු වූ මත්ද්‍රව්‍ය තොගයක් පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට පොලිසියට කරුණු තහවුරු විය. ඒ අනුව අදාළ නිවස වටලා සිදු කළ සෝදිසි කිරීමේදී එහි රහසිගතව ගබඩා කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 69ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 90ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තබා ගැනීමේ ආරක්ෂිත ස්ථානයක් ලෙස භාවිත කිරීමේ අරමුණින්ම මාසිකව රුපියල් පනස් දහසක කුලියක් ගෙවමින් අදාළ නිවස ලබාගෙන ඇති බව එහි රැඳී සිටියදී අත්අඩංගුවට පත් වූ අඹුසැමි යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සෘජු මෙහෙයවීම සහ උපදෙස් මත මොවුන් කාලයක පටන් බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශ වෙත මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇත.
මීට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු සවි කරන ලද මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් යුවළ ලබා දුන් වැඩිදුර තොරතුරු ඔස්සේ මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු බෝකුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල, ඇඹිලිපිටිය සහ වෑගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24, 27 සහ 31 යන වයස් සීමාවන්හි පසුවන පිරිසකි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී සී. ධර්මරත්න මහතාගේ මෙහෙයවීම යටතේ උපපොලිස් පරීක්ෂක ඉෂාර මදුසංඛ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.
