the-death-at-the-home-of-the-cylinder-politician-is-suspicious-chulas-mother-tells-the-police

මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නාමයක් බවට පත්ව සිටි ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ අකල් වියෝව, හුදෙක් එක් රූප සුන්දරියකගේ සමුගැනීමක් පමණක් නොව, අඳුරු රහස් රැසක් සඟවාගත් ගුප්ත නාටකයක ආරම්භයක් බවට පත්ව තිබේ.
 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති අතිඋත්කර්ෂවත් 'Universal Woman Sri Lanka 2026' රූප රාජිණී තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන පුහුණු උපදේශිකාව ලෙස සාර්ථක ලෙස කටයුතු නිමා කර පැය කිහිපයක් යන්නටත් පෙර, 46 හැවිරිදි ඇගේ අජීවී සිරුර පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ පිහිටි CT Gardens නිවාස ඒකකයේ සුඛෝපභෝගී නිවසක ඇඳක් මත තිබී හමු වීමත් සමඟ මුළු රටම දැඩි කැළඹෙනයකට පත්ව සිටියි.




මරණයේ අද්භූත බව තීව්‍ර කරමින්, ඇගේ මුවින් වෑහුණු රුධිරය කොට්ටය මත තැවරී තිබූ බවට හෙළිදරව් වීමත් සමඟ මෙම සිදුවීම සාමාන්‍ය හෘදයාබාධයක්ද එසේත් නැතිනම් යම් අදෘශ්‍යමාන බලවේගයක හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව සැකය ශීඝ්‍රයෙන් වැඩෙමින් පවතී. පොලිස් මූලික විමර්ශනවලට අනුව, උත්සවයෙන් අනතුරුව අලුයම් කාලයේදී ඇය මෙම නිවස වෙත පැමිණ ඇත්තේ පසුගිය මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය සලකුණින් තරග කළ දේශපාලනයට සම්බන්ධිත ව්‍යාපාරිකයෙකු සමඟිනි. ඇඳ මත මුනින් අතට නිදා සිටි චූලාව අවදි කිරීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, පසුව කොට්ටය පුරා ලේ වැගිරී ඇති අයුරු දැක 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇමතූ බවත් අදාළ ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ස්ථානයට පැමිණි සෞඛ්‍ය සේවකයින් ඇය ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කිරීමෙන් පසු සිදුවීම පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට චූලාගේ මව පොලිසියට පැමිණ තිබුණ අතර මේ ගැන කළ මූලික විමර්ශනයේදී "මම කතා කළා වුණත් එයා ඇහැරුණේ ම නැහැ.." ''මම 1990ට එවෙලේම කතාකළා" - ව්‍යාපාරිකයා කියූ බවට වාර්තා පළව තිබේ.




මෙම හදිසි අභාවය පිටුපස කිසියම් අභිරහසක් පවතින බවට තදින්ම සැක කරන ඇගේ මව, මේ වන විටත් පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි. පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව ඇත්තේ දෙදෙනා අතර පැවැති සබඳතාවයේ ස්වභාවය සහ අවසන් හෝරාවන්හි සිදු වූ සිදුවීම් මාලාව කෙරෙහිය. මියගිය නිරූපණ ශිල්පිනිය මෙන්ම අදාළ ව්‍යාපාරිකයා ද නීත්‍යානුකූලව විවාහක පුද්ගලයන් වන අතර, ඔවුන් තම නිල විවාහයන්ගෙන් වෙන් වී නොසිටියද, මෙම සමීප සබඳතාව පිළිබඳව ඇගේ දෙමාපියන් පවා දැන සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම අදාළ නිවස පිහිටි පෞද්ගලික පරිශ්‍රය තුළ එම අලුයම් හෝරාවේ සිදූවූයේ කුමක්ද යන්න තවමත් අඳුරේ පවතින අභිරහසකි.

මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට ඇතැම් ආරංචි මාර්ග උපකල්පනය කළද, සිරුර හමු වූ ආකාරය සහ මුවින් ලේ වෑහීම වැනි සාධක හේතුවෙන් පොලිසිය කිසිදු ශක්‍යතාවක් බැහැර කර නැත. සිදුවීමට අදාළව පශ්චාත් මරණ පරික්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, එහි විද්‍යාත්මක සොයාගැනීම් මඟින් මෙම සැකකටයුතු අභාවයේ නැබුරුව තීරණය වනු ඇත. පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ සෘජු උපදෙස් මත, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනආරච්චි, පොලිස් කොස්ථාපල්වරුන් වන බණ්ඩාර (74934), කුමාර (100319) සහ කාන්තා පොලිස් කොස්ථාපල් විරාජිණී (9055) යන නිලධාරීහු කණ්ඩායම මෙම සිදුවීමේ මුල සිට අග දක්වා සියලු සාක්ෂි සෙවීමේ විමර්ශනවල නිරතව සිටිති.



දශක දෙකකට වැඩි කාලයක් මෙරට මෝස්තර නිරූපණ හා විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් හිමිකරගෙන සිටි චූලා පද්මේන්ද්‍ර, හුදෙක් නිරූපිකාවක පමණක් නොව නවකයන් රැසක් ක්ෂේත්‍රයට දායාද කළ දක්ෂ උපදේශිකාවක ද වූවාය. ඇයගේ 'Chulpadmendra Catwalk Studio' හරහා පුහුණුව ලැබූවන් අතර හිටපු ලෝක විවාහක රූ රැජිනක වන කැරොලින් ජූරි ද වන අතර, 2006 වසරේ ටැන්සානියාවේ පැවැති 'Miss Tourism Model of the World' තරගාවලියේදී මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් ඇය ජාත්‍යන්තරව ද දක්ෂතා දක්වා තිබිණි. 'Sweet Angel', 'ගින්දරී 2' (අසනි වැසි) සහ 'ස්වර' වැනි සිනමා නිර්මාණ මෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් හරහා රංගන කෞශල්‍යය ද ප්‍රකාශ කළ ඇය, සිය පවුලට සහ දරුවාට මූලිකත්වය දෙමින් කාලයක් ක්ෂේත්‍රයෙන් බැහැරව සිට නැවත ප්‍රවේශ වූ පෞරුෂයකි.

කෙසේ වෙතත්, ඇය සමාජය හමුවේ ප්‍රකටව සිටියේ තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් කෙළින් පෙනී සිටි, අසාධාරණයට එරෙහිව සෘජුව කතා කළ දැඩි පෞරුෂයකින් හෙබි තැනැත්තියක ලෙසිනි. 2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජින තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැරොලින් ජූරි සමඟ ඇයට එරෙහිව ද පවරා තිබූ නඩුවේ තීන්දුව ලබන ඔක්තෝබර් 17 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එවන් පරීක්ෂණාත්මක සහ සංවේදී වටපිටාවක, සිය ජීවිතයේ තවත් එක් විශිෂ්ට ජයග්‍රාහී රාත්‍රියක් නිමා කොට පැය කිහිපයකින් මෙලෙස සැකකටයුතු ලෙස මියයාම, ඇගේ අභාවය වටා ඇති අභිරහස් ජාලය තවත් සංකීර්ණ කරයි.

news-2026-09-01-040019