කළුබෝවිල රෝහල් පාරේ පිහිටි නිවසකට රාත්‍රී කාලයේ බලහත්කාරයෙන් ඇතුළු වී පදිංචිකරුවන්ට අඩන්තේට්ටම් කළ කණ්ඩායම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී නිමල් බුලත්සිංහල මහතා පොලිසියෙන් ඉල්ලා සිටියි. පසුගිය 01 වැනිදා රාත්‍රී 9.00 ට පමණ මෝටර් රථයකින් සහ වෙනත් ක්‍රමවලින් පැමිණි 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් කළුබෝවිල රෝහල් පාරේ අංක 161 දරන නිවසට ඇතුළු වී තිබේ.
තමන් ෆිස්කල් නිලධාරීන් බව හඟවමින් එහි සිටි පිරිස එළියට ඇද දමා සිදුකළ මෙම හිරිහැර කිරීම් පිළිබඳව මේ වන විට කෝහුවල පොලිසියට පැමිණිලි 07 ක් ඉදිරිපත් කර ඇත.ඉදිරිපත් කර ඇති පැමිණිලි අතුරින් එකක් සම්බන්ධයෙන් පමණක් පොලිසිය විමර්ශන සිදුකර ඇති අතර, සියලු පැමිණිලි සලකා බැලුවේ නම් පැමිණි සැකකරුවන් හඳුනා ගැනීමට හැකියාව තිබූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව පැමිණි මෙම පිරිස කවුරුන්දැයි තහවුරු නොවීම නිසා බදු පදනම මත එම ගොඩනැගිල්ලේ වසන පදිංචිකරුවන් පසුවන්නේ දැඩි බියෙනි. එමෙන්ම, සැකකරුවන් පැමිණි වාහනය ගිනි තබා ඇති බවට පැතිර යන ආරංචියත් සමග සිද්ධිය සිදු වූ ආකාරය සහ ස්ථානය පිළිබඳව ප්‍රශ්න රාශියක් මතුවන බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
කොහුවල පොලිස් ස්ථානාධිපතිවරයා පරීක්ෂණ සඳහා සහාය දුන්නද, ඔහුට පහළින් සිටින වෙනත් නිලධාරියෙකු විමර්ශන කටයුතුවලට බාධා පමුණුවන බවට සැකයක් පවතින බැවින් මේ පිළිබඳව සුදුසු පියවර ගන්නා ලෙස ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක කුමාර මහතා ප්‍රකාශ කළේ, අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුවන බවත්ය.