භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු ලබන අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ සම්පත් බැංකුවේ උමේෂ් රන්දික, සෙලාන් බැංකුවේ ශිරාන් මාරියෝ, යූනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ එන්.ඩී.බී. හෙවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර යන කළමනාකාරවරුන්ය.
ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් සැබැවින්ම ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු ආයතනයක් මාර්ගයෙන් විදේශ විනිමය රටින් පිටකර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත. බැංකු පහසුකම් අවභාවිත කරමින්, වංචාසහගත ලෙස රටේ සංචිතවල පැවති ඩොලර් මිලියන ගණනින් විදේශයන් වෙත යැවීමට මොවුන් කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ මුදල් විදේශගත කළ නිවැරදි ක්‍රමවේදය සහ මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පැවසීය. මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප හිමිවුවහොත් එය විමර්ශනවලට දැඩි බාධාවක් වන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සැකකාර කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා, සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.