two-white-men-are-hanging-from-a-kohomba-tree-in-the-courtyard-of-the-matara-temple

මාතර, තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට පිහිටි කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය ජාතිකයින් දෙදෙනෙකුගේ සිරුරු 16 වනදා පස්වරුවේ සොයාගෙන තිබේ. ආගමික කටයුතු සඳහා විහාරස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම මළ සිරුරු දැක ඒ පිළිබඳව වහාම තිහගොඩ පොලිසිය වෙත දැනුම් දී ඇත.




මෙසේ මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ ජාතිකයෙකු සහ 52 හැවිරිදි වියේ පසු වූ ස්කොට්ලන්ත ජාතිකයෙකි. මොවුන් දෙදෙනා වැලිගම, මිදිගම ගුරුබැබිල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිට ඇති අතර, එදින උදෑසන හම්බන්තොට ප්‍රදේශයට යන බව පවසා එම නිකේතනයෙන් පිටව ගොස් තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ තිබී පාවහන් යුගලක්, යතුරුපැදි හිස්වැසුමක් සහ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන ඇත. අදාළ යතුරුපැදියේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය වැලිගම ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් එකක් බවයි.




මෙම විදේශිකයන් දෙදෙනා සියදිවි නසාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී සැක කෙරෙන අතර, ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ උපදෙස් පරිදි තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

two-white-men-are-hanging-from-a-kohomba-tree-in-the-courtyard-of-the-matara-temple