බේරුවල, හෙට්ටිමුල්ල උප දුම්රිය ස්ථානය ආසන්නයේදී ධාවනය වූ දුම්රියකට ගෙල තබා සියදිවි හානිකරගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මතුගම, ලිණියාවේ වැල්ලේ මුකලාන පාරේ පදිංචිව සිටි සජිත් දේවප්‍රිය නමැති පුද්ගලයෙකි.
ධාවනය වෙමින් තිබූ දුම්රියට ගෙල තැබීම හේතුවෙන් ඔහුගේ හිස සිරුරෙන් වෙන්වී තිබියදී බේරුවල පොලිසිය මගින් සොයාගෙන ඇත.වත්තල, හෑදල ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගිය ජූලි මස 23 වැනිදා පැවැති උපන්දින සාදයකදී සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන්ද මෙම මියගිය පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගැනීමට උසස් පොලිස් නිලධාරීන් සෙවීම් කරමින් සිට ඇත.
මීට අමතරව, 2018 වසරේ අගෝස්තු මස 27 වැනිදා මීගහතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
මොහු මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් නඩු හතරකට වරදකරු වී අධිකරණයෙන් දඩ නියම වූ අයෙකු බවටද තහවුරු වී තිබේ. ඒ අනුව 2025 වසරේදී සහ මෙම වසරේ මාර්තු මස 1 වැනිදා හේරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී රුපියල් දසදහස බැගින් දඩ නියම වී ඇත. එමෙන්ම කසිප්පු ජාවාරම් කිරීමේ නඩු දෙකකට අදාළව රුපියල් නවදහසක සහ රුපියල් හත්දහසක දඩ මුදල්ද මොහුට අධිකරණය මගින් නියම කර තිබුණි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ සහ කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් පරිදි බේරුවල පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
