තමන්ගේ මධුසමය සැමරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් ව්‍යාපාරිකයකුට අයත් ඒ.ටී.එම්. කාඩ්පත් සොරකම් කළ බවට චෝදනා ලැබූ විසිහය හැවිරිදි තරුණියක් අතුරුගිරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ව්‍යාපාරිකයාගේ ගොඩනැගිලි ඉදි කිරීම් පරිශ්‍රයක මේසන්වරයකු ලෙස සේවය කළ ඇගේ පෙම්වතාගේ මෙහෙයවීම මත මෙම සොරකම සිදු කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.අවශ්‍යතාවක් සඳහා කොළඹට පැමිණෙන තම බිරිඳට එක් රැයක් නවාතැන් දෙන ලෙස අදාළ මේසන්වරයා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලීමක් කර ඇත. තමන් නිවසේ තනිව වෙසෙන බැවින් තරුණිය සමඟ ඇගේ මව ද පැමිණෙන්නේ නම් පමණක් නවාතැන් පහසුකම් ලබා දිය හැකි බව ව්‍යාපාරිකයා දන්වා තිබේ. ඒ අනුව, තරුණිය සහ ඇගේ මව ව්‍යාපාරිකයාගේ නිවසට කැඳවාගෙන ආ මේසන්වරයා, ව්‍යාපාරිකයාගේ ඒ.ටී.එම්. කාඩ්පත් සොරකම් කරන ලෙස තරුණියට උපදෙස් දී එතැනින් නික්ම ගොස් ඇත.
පසුදා උදෑසන එම කාන්තාවන් දෙදෙනා ඒ.ටී.එම්. කාඩ්පත් දෙක ද රැගෙන නිවසින් පිටව ගොස් ඇත්තේ සැකකාර මේසන්වරයා හමු වීමටය. අනතුරුව එම කාඩ්පත් භාවිතයෙන් මුලින්ම රුපියල් පනස් දහසක මුදලක් ලබාගෙන, තම විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු වාද්දූව ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගත කිරීමට මොවුන් කටයුතු කර තිබේ.
මේ අතරතුර, වැලිගම බලා ගමන් කරමින් සිටි සැකකාර මේසන්වරයා විවෘත වරෙන්තුවක් මත වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇත. තම සහකරු පොලිස් භාරයට පත්වීමෙන් අනතුරුව මාතර ප්‍රදේශයට ගොස් ඇති මෙම තරුණිය, සොරකම් කරන ලද ඒ.ටී.එම්. කාඩ්පත් මඟින් නැවත මුදල් ලබාගෙන ජංගම දුරකථන දෙකක් සහ ස්වර්ණාභරණ මිලදී ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ඇරඹූ අතුරුගිරිය පොලීසිය, බැංකු පරිශ්‍රයන්හි පිහිටි සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකාරිය හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට, සිරිපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය එක්දරු මවක් බව හෙළි වී තිබේ. අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අභිෂේක් ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.