the-delay-in-15000-taste-test-reports-has-led-to-overcrowding-in-the-jail

රස පරීක්ෂක වාර්තා ලැබීම දීර්ඝ ලෙස ප්‍රමාද වීම හේතුවෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර 22 ක පසුවන සැකකරුවන් 15,117 දෙනෙකුට නිදහස ලබා ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවෙන් හෙළි වේ. එමෙන්ම, අධිකරණය නියම කළ සුළු දඩ මුදල් පවා ගෙවා ගැනීමට නොහැකි වීම නිසා බන්ධනාගාර 28 ක රැඳවියන් 1,940 දෙනෙකු තවදුරටත් රඳවා තබා ගැනීමට සිදු වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.




බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට මෙම කරුණු ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙන්වා දෙන ජාතික විගණන කාර්යාලය, මත්ද්‍රව්‍ය භාවිතය, ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන රැඳවියන් අනෙකුත් රැඳවියන්ගෙන් වෙන් කර තැබීමට කටයුතු නොකිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

මෙලෙස මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පාතාල ක්‍රියාකාරීන් සමඟ එකට රඳවා තැබීම හේතුවෙන් බන්ධනාගාර අභ්‍යන්තරය තුළ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින අතර, එය සමාජය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කිරීමට ද හේතු වී ඇති බව අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.