schools-in-nuwara-eliya-close-due-to-bad-weather

ගතවූ පැය 24ක කාලසීමාව තුළ ඇදහැළුණු තද වර්ෂාපතනය හේතුවෙන් මහවැලි, කැලණි සහ කළු යන ගංගාවල ඉහළ පෝෂිත ප්‍රදේශයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. එස්.

සූරියබණ්ඩාර මහතා පවසයි. විශේෂයෙන්ම නාවලපිටිය, නානුඔය සහ වටවල යන මහවැලි ගංඟා ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 200ට ආසන්න හෝ ඊට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. මේ හේතුවෙන් නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආශ්‍රිතව පදිංචි ජනතාවට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දැනට ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ නොගියද ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරයි. ඊයේ රාත්‍රියේ ඇතැම් ස්ථානවලට පතිත වූ මිලිමීටර් 70 ඉක්මවූ වැසියෙන් ක්ෂණික ජල මට්ටම් ඉහළ යාමක් සිදුවුවද, මෙම තත්ත්වය දිට්වා ආපදා මට්ටම දක්වා වර්ධනය නොවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.




මේ අතර කැලණි ගඟ ඉහළ පෝෂිත ප්‍රදේශයන් වන ලක්ෂපාන සහ නෝර්වුඩ් යන ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර වැසි ඇදහැලීම නිසා කිතුල්ගල ඇතුළු ඉහළ ද්‍රෝණියේ ජල මට්ටම් ඉහළ ගොස් ඇත. එම ජල මට්ටම් මේ වන විට පහත බැසීමට පටන්ගෙන තිබුණද, නෝර්වුඩ්, කිතුල්ගල, අවිස්සාවේල්ල සහ හංවැල්ල දක්වා වූ පහත්බිම් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතී. එමෙන්ම රත්නපුර ඉහළ ප්‍රදේශවලට ලැබුණු මිලිමීටර් 100 ආසන්න වර්ෂාපතනය හමුවේ රත්නපුරයේ ජල මට්ටමද අවදානම් මට්ටම දක්වා ළඟා වී ඇති අතර, පහත් බිම් කිහිපයක් යටවීමේ තත්ත්වයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් නිල්වලා සහ ගිං ගංඟා ආශ්‍රිතව මිලිමීටර් 50-75 අතර වැසි ලැබුණද ඒවායේ ගංවතුර අවදානමක් නොමැති අතර, මහ ඔය සහ අත්තනගලු ඔය ද්‍රෝණිවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැත.

පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මධ්‍යම පළාතේ නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සනාථ කරන්නේ මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අහස වළාකුලින් බරව පවතින අතර එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. විශේෂයෙන්ම සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලට වැසි වාර කිහිපයක්ද, පස්වරු 2.00න් පසුව මුලතිව් දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැක. මීට අමතරව උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං හමන බැවින්, අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.