ලබන දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ රුසියාවේ සයිබීරියානු කලාපය යා කරමින් නව ජාත්‍යන්තර ගුවන් සේවාවක් ආරම්භ කිරීමට රුසියාවේ ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන S7 Airlines පියවර ගෙන තිබේ. සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් (Novosibirsk) නගරය සහ කොළඹ අතර ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් 2026 දෙසැම්බර් 20 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව එම සමාගමේ නිල වෙබ් අඩවිය තහවුරු කරයි.
මෙම නව ගුවන් සම්බන්ධතාව හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන්ට හික්කඩුව, බෙන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජනප්‍රිය වෙරළබඩ සහ සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන්ම ළඟා වීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම ගුවන් ගමන් වාර සතියකට දින දෙකක්, එනම් සෑම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇත.
නොවොසිබිර්ස්ක්හි ටොල්මාචෙවෝ ගුවන්තොටුපළෙන් බ්‍රහස්පතින්දා පූර්වාහ්න 5.15ට සහ ඉරිදා පූර්වාහ්න 5.00ට පිටත්වන ගුවන් යානා, එදින අපරභාග 1.40 වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වේ. නැවත කොළඹින් ගුවන් පිටත්වීම එම දිනවලම අපරභාග 2.50ට සිදුවන අතර, එම යානා පසුදා අලුයම 2.15ට පමණ නොවොසිබිර්ස්ක් වෙත ළඟා වීමට නියමිතය.
මෙම ගමන් වාරයේදී ඉන්දියාවේ ජයිපූර් නගරයේදී තාක්ෂණික ඉන්ධන පිරවීමක් සිදුකරන අතර, ඒ සඳහා මගීන් ගුවන් යානයෙන් බැසීම අවශ්‍ය නොවේ. මෙම ගමන සඳහා ගතවන සමස්ත කාලය පැය 10කට ආසන්න වේ.
