මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර කලාපයේ නානා-මම්බේරේ ප්‍රාන්තයට අයත් සැම්බෝයි ගම්මානයේ පවත්වාගෙන ගිය නීති විරෝධී රත්රන් පතලක් කඩා වැටීමෙන් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයේ පිහිටි බබෝවා නගරයේ සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි මෙම විවෘත පතල් භූමියේ සිදුවූ කඩා වැටීමත් සමඟ විශාල පිරිසක් පස් හා වැලි තට්ටු අතර සිරවූහ.
ප්‍රදේශවාසීන්, රෙඩ්ක්‍රොස් ස්වේච්ඡා සේවකයින් සහ පවත්නා සීමිත උපකරණ යොදාගනිමින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, සිරවී සිටින පිරිසගේ ප්‍රමාණය අනුව මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.පතල් කම්කරුවන් පිරිසක් භූගත උමං මාර්ග තුළ කැණීම් කටයුතුවල නිරතව සිටියදී පස් කන්දක් එක්වරම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම රත්රන් පතල ආරක්ෂිත ක්‍රමවේදවලින් තොරව, අතින් කැණීම් සිදුකරන අවිධිමත් ස්ථානයක් වන අතර තරුණ තරුණියන් රැසක් සිය පවුල් නඩත්තු කිරීම සඳහා මෙහි සේවය කරමින් සිටියහ. අනතුර සිදුවූ අවස්ථාවේදී පස් සහ වැලි කන්දක් ජනතාව මතට කඩා පාත්වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද ප්‍රචාරය වී ඇති අතර, සිදුවීම විස්තර කළ සෙඩ්රික් ම්බන්ගෝ නමැති පතල් කම්කරුවෙකු සඳහන් කළේ පවත්නා තත්ත්වය ඉතා ඛේදනීය බවත් තවමත් විශාල පිරිසක් පස් අතර සිරවී සිටින බවත්ය.
මේ වන විට සිරුරු 100 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර කැමරූන් දේශසීමා බලධාරියෙකුට අනුව සොයාගත් සිරුරු සංඛ්‍යාව 107 කි. මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර මධ්‍යම අප්‍රිකානු ජනරජයේ වැසියන්ට අමතරව අසල්වැසි කැමරූන් ජාතිකයින්ද සිටින අතර, මියගිය කැමරූන් ජාතිකයින්ගේ සිරුරු නැවත ඔවුන්ගේ රට වෙත යැවීමට කටයුතු කර ඇත. බරපතල ලෙස තුවාල ලැබූ පිරිස් බබෝවා රෝහලට ඇතුළත් කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක එවරිස්ටේ න්ගමානා ශෝකය පළ කර ඇති අතර බබෝවා රජයේ නීතිඥවරයා විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 150,000 කට අධික පිරිසක් ජීවනෝපාය ලෙස මෙවැනි අවිධිමත් රත්රන් කැණීම්වල නිරත වන අතර, වසරකට රත්රන් ටොන් 2 ත් 5 ත් අතර ප්‍රමාණයක් මෙලෙස නිපදවනු ලබයි. කෙසේ වෙතත්, නිසි නියාමනයක් හෝ ආරක්ෂිත උපකරණ නොමැතිව සිදුකරන මෙවැනි කැණීම් හේතුවෙන් නිතර නිතර මාරාන්තික අනතුරු සිදුවේ. 2026 වසරේ මුල් මාස කිහිපය තුළදී පමණක් බේ-ම්බාරි, න්ගුරූම් සහ ගෝර්ඩි යන ප්‍රදේශවල සිදුවූ පතල් කඩා වැටීම්වලින්ද පිරිස් ජීවිතක්ෂයට පත්වූ අතර, පවතින දරිද්‍රතාවය සහ රැකියා විරහිතභාවය හේතුවෙන් ජනතාව මෙවැනි අවදානම් සහිත රැකියාවල නිරත වීමට පෙළඹී සිටිති.