
මැදපෙරදිග කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත සිය බිරිඳගෙන් මුදල් ඉල්ලා, එම මුදල් නොඑවන්නේ නම් දරුවන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කරමින් ඔවුන්ට පහර දී එම දර්ශන වීඩියෝ කර යැවූ 27 හැවිරිදි පියෙකු බලන්ගොඩ, පින්නවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ පින්නවල, ගඟ අද්දරපාර, වලවේ කොටස ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර් නමැති මෙම සැකකරු මීට පෙර වතු කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර, පසුව නිවසේ රැඳී සිටිමින් සිය අවුරුදු හතක් වයසැති දියණිය සහ අවුරුදු හතරක් වයසැති පුතණුවන් බලාගෙන ඇත. සැකකාර පියා විසින් සිය ජංගම දුරකථනයෙන් දරුවන්ට පහර දෙන ආකාරය වීඩියෝ කර කුවේට් හි සේවය කරන බිරිඳ වෙත යවා ඇති අතර, මුදල් නොඑවන්නේ නම් දරුවන් මරා දමන බවට මෙලෙස තර්ජනය කර තිබේ.
සිය සැමියා විසින් එවූ අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළ බිරිඳ, ඒ පිළිබඳව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල බලන්ගොඩ පින්නවල පොලිසිය වෙත යොමු කිරීමෙන් අනතුරුව, පින්නවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ටී. එම්. මදුරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදු කළ විමර්ශනවලින් පසුව සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ දරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා පරීක්ෂා කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හාගල දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය. පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සැකකරු පවසා ඇත්තේ, කුවේට් හි සිටින බිරිඳ දුරකථන ඇමතුම්වලට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇය ලවා කතා කරගැනීමේ අරමුණින් මෙවැනි වීඩියෝ යැවූ බවත්, මුදල් ඉල්ලා දරුවන්ට පහර නොදුන් බවත්ය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාත් කළමනාකාර සමින් චමින්ද මහතා සඳහන් කළේ, වයස අවුරුදු දෙකට වැඩි දරුවන් සිටින මව්වරුන්ට පියාගේ අවසරය මත විදේශගත වීමට අවස්ථාව පවතින බවත්, මෙම සිද්ධියට අදාළව තම කාර්යාංශය ද වැඩිදුර කරුණු සොයා බලන බවත්ය.