සීතාඑළිය රක්ෂිතයට විනෝදයට ගිනිතබා කැලෑව විනාශකිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 40,000/-ක දඩයක් නියම කළ නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වනයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 04කට අධික වන්දියක් ගෙවීමටද නියම කළාය.
වනාන්තරවලට මෙවැනි හානි නොකරන ලෙස විත්තිකරුට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය වනාන්තරවලට යළි මෙවැනි හානිකර අසුවුවහොත් දැඩි දඬුවම් නියම කරන බවද දැනුම් දුන්නාය. චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියමුවූයේ නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති 48 හැවිරිදි පුද්ගලයකුටය.
2026 ජූලි 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් නම් කර ඇති කඳපොළ, බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය රක්ෂිතයට ඇතුළු වී එම රක්ෂිතයට ගිනි තබා රක්ෂිතයේ හෙක්ටයාරයක පමණ ප්‍රදේශයකට හානි කළ බවට විත්තිකරුට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය අඩවි වන නිලධාරී ඒ.එච්.එස්. නිශ්ශංක මහතා චෝදනා නඟා තිබිණී.නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකරුට එරෙහි චෝදනා කියවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම් දුන්නේය”ඒ අවස්ථාවේදී නුවරඑළිය බීට්ටු වන නිලධාරි ඒ.ඩබ්ලිව්. එස්. හේවාමාන්න මහතා සමඟ පෙනී සිටි අඩවි වන නිලධාරි ඒ. එච්. එස්. නිශ්ශංක මහතා කරුණු දක්වමින් සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් නම් කර ඇති සීතාඑළිය රක්ෂිතයට විත්තිකරු අනවසරයෙන් ඇතුළු වී ගිනි තබා ඇතැයිද ඉන් වනාන්තරයේ හෙක්ටයාරයක පමණ ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ වී ඇතැයිද පැවසීය. ගින්න පැතිර යෑමත් සමඟ නුවරඑළිය දිසා වන නිලධාරි පරාක්‍රම වනිගසිංහ මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිලධාරි ඒ. ඩබ්ලිව්. එස්. හේවාමාන්න, වන ක්ෂේත්‍ර සහකාරවරුන් වන එච්. එම්. ඩි. පී. බණ්ඩාර, කේ.එම්. ප්‍රසාන්ත්, ප්‍රසන්න අමල්, ඩී.එම්.සී. ධනපාල, රියදුරු ඩී.කේ. නයනජිත්, අනියම් කම්කරු සේනක සෝමරත්න යන තම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පැතිරීම වළක්වා සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව කැලෑවට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී විනෝදයට කැලයට ගිනි තැබූ බව පැවසූ බවත් කී අඩවි වන නිලධාරි නිශ්ශංක මහතා වන ආඥා පනත යටතේ සෙසු අයටද පාඩමක් වන අන්දමේ දැඩි දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වීම සහ ගිනි තැබීමේ චෝදනාවන්ට රුපියල් 40000/-ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරිය වනාන්තරයට සිදුවූ හානියට රුපියල් 403,509.22ක වන්දියක් නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් ඒ අවස්ථාවේදී නුවරඑළිය බීට්ටු වන නිලධාරි ඒ. ඩබ්ලිව්. එස්. හේවාමාන්න මහතා සමඟ අඩවි වන නිලධාරි ඒ. එච්. එස්. නිශ්ශංක මහතා පෙනී සිටියේය.