
හොරණ උසාවි පරිශ්‍රයේ තෙමහල් කාර්යාල සංකීර්ණයක පිහිටි නීතිඥවරියකට අයත් කාර්යාලයක වීදුරු ජනේලයකින් ඇතුළු වී එහි තිබූ මුදල් සොරාගෙන යතුරුපැදියකින් පලාගිය බව කියන සැකකරුවකු සොරකම සිදුවී දිනක් ගතවීමටත් පෙර අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.උසාවිය ආසන්නයේම පිහිටි එම නීතිඥවරියගේ කාර්යාලයෙන් සොරකම සිදුකර ඇත්තේ උසාවියේ නඩු කටයුතු සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගෙන්, බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම නඩු කටයුතු සඳහා පැමිණි ජනතාවගෙන්ද උසාවි පරිශ්‍රය පිරී තිබූ අවස්ථාවක බව පොලිසිය පවසයි.
අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් තිබියදී නීතිඥවරිය කාර්යාලයේ සිටියදී දොරටුව අසල තිබූ වීදුරු ජනේලයේ ඇගේ හිස වැදීමෙන් වීදුරුව කැඩී ඇති අතර, හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති බව පොලිසිය කියයි.නීතිඥවරිය රෝහලට ගිය පසු එම කාර්යාලයේ ලිපිකාරිනිය පමණක් රැඳී සිට ඇති අතර, ඇයද හදිසි රාජකාරි කටයුත්තක් සඳහා කාර්යාලයේ දොර වසා අධිකරණයට ගොස් තිබේ.
එම අවස්ථාවේදී නීතිඥවරියගේ හිස වැදීමෙන් පෙර කැඩී තිබූ වීදුරු ජනේලයේ සිදුරෙන් කාර්යාලයට ඇතුළු වූ සැකකරු එහි තිබූ ලිපිකාරිනියගේ මුදල් රැගෙන නැවත එම ස්ථානයෙන් පිටතට පැමිණ ඇති බව පොලිසිය පවසයි.සැකකරු කාර්යාලයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එය දුටු නීතිඥවරුන් දෙදෙනකු ඔහුගෙන් කොහේ යන්නේද සහ කුමක් කරන්නේද යන්න විමසා තිබේ.
එහිදී කිසිදු කලබලයකින් තොරව ඉතා සැහැල්ලුවෙන් හැසිරී ඇති සැකකරු සිය ජංගම දුරකථනය අතට ගෙන නීතිඥවරියගේ ලිපිකාරිනිය සමඟ දුරකථනයෙන් කතා කරන ආකාරයක් පෙන්වා, “හරි මිස්, බඩු ටික මම ගත්තා” යනුවෙන් පවසා එම නීතිඥවරුන් දෙදෙනාට කිසිදු සැකයක් ඇති නොවන ආකාරයෙන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය කියයි.නීතිඥවරියගේ මුදල් ලබා ගැනීමට සැකකරුට නොහැකි වී ඇත්තේ එම මුදල් තැන්පත් කර තිබූ ලාච්චුවේ යතුර දමා තිබීම හේතුවෙන් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 25ක් වයසැති, සීතදොළ ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි. සැකකරු කලක සිට මෙම නීතිඥවරියගෙන් නීතිමය සහාය ලබාගෙන ඇති අයකු බවත්, ඔහු වෙනුවෙන් පමණක් නොව ඔහුගේ ඥාතීන්ගේද නඩු කටයුතු සඳහා අවස්ථා ගණනාවකදී නීතිඥවරිය නොමිලේ පෙනී සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු මත්ද්‍රව්‍ය හා සොරකම් සම්බන්ධයෙන් මීට පෙරද සිද්ධීන් කිහිපයකට සම්බන්ධ වී ඇති පුද්ගලයකු බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇති බවද සඳහන් වේ.
සොරකම සැලසුම් සහගතව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරු යතුරුපැදියකින් පැමිණ හිස්වැසුමක් පැලඳ මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.සැකකරු ආරක්ෂිත කැමරා දර්ශන සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ආරක්ෂිත කැමරා දර්ශනවලට හසු නොවන ආකාරයට සැලසුම් සහගතව ගමන් කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. එමෙන්ම යතුරුපැදියේ අංක තහඩුව පැහැදිලිව දැකගත නොහැකි වන ආකාරයට සකස් කරගෙන තිබූ බවත්, ආරක්ෂිත කැමරා මඟහැරීම සඳහා නියමිත මාර්ගයෙන් නොව මාර්ගයේ වැරදි පසින් යතුරුපැදිය ධාවනය කර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු බවටද පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ..සැකකරු ගමන් කළ මාර්ගයේ ස්ථාපිත කර ඇති ආරක්ෂිත කැමරා විශාල ප්‍රමාණයක දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
