150-in-the-hospital-in-jaffna-after-laser-rays-hit-the-eye

යාපනය බණ්ඩාරතරිප්පු ප්‍රදේශයේ පිහිටි මුරුගමූර්ති කෝවිලේ පැවැති උත්සවයක් අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ඇස් ආශ්‍රිත අසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඉකුත් 20 වැනිදා පැවැති මෙම උත්සවයේදී භාවිත කරන ලද අධිබලැති ලේසර් කිරණ සහ රතිඤ්ඤා දැල්වීමෙන් පිටවූ අධික දුමය මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වාර්තා වේ.




එම උත්සව භූමියේ තිබූ අධික දුමාරය සහ ප්‍රබල ලේසර් ආලෝකය නෙත ගැටීම නිසා පීඩාවට පත්වූවන්ට ඇස් දැවිල්ල මෙන්ම පෙනීමේ දුර්වලතා ද හටගෙන තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් අසාත්මිකතාවලට ලක්වූ පිරිස අතරින් 120 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් 46 දෙනෙකු තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර සිටින පිරිස අතරින් 60 දෙනෙකුම කාන්තාවන් සහ කුඩා ළමයින් බව වාර්තා වේ.

තවදුරටත් අලුතින් රෝගීන් වාර්තා වෙමින් පවතින බැවින් රෝහල්ගත වන සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා සඳහන් කළේ රෝගීන්ට කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි. එම නිසා යම් හෙයකින් ඇස් ආශ්‍රිත යම් අසාත්මිකතාවක් හෝ අපහසුතාවක් පවතී නම් ප්‍රමාද නොවී වහාම රෝහල්ගත වන ලෙස ඒ මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.