trump-appoints-his-personal-lawyer-as-us-attorney-general

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු පෞද්ගලික නීතිඥයකු වන ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) එරට ප්‍රධානතම නීති බලාත්මක කිරීමේ නිලධාරියා වන නීතිපති (Attorney General) ධුරය සඳහා සෙනෙට් සභාවේ පටු ඡන්ද පරතරයකින් ස්ථිර කර තිබේ. සෙනෙට් සභාවේ පැවැති රාත්‍රී ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 50 ක් සහ විපක්ෂව ඡන්ද 49 ක් හිමි වූ බව  වාර්තාවල සඳහන් වේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ බ්ලැන්ච්ගේ පත්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය සහ සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන් අතර පැවැති දීර්ඝකාලීන මතගැටුම මෙම තීරණයත් සමඟ අවසන් විය.




මෙම ඡන්ද විමසීමේදී ඩිමොක්‍රටික් පක්ෂයේ සියලුම සෙනෙට් සභිකයන්ට අමතරව රිපබ්ලිකන් පක්ෂයේ සුසාන් කොලින්ස් (Susan Collins) සහ ලීසා මුර්කොව්ස්කි (Lisa Murkowski) යන සෙනෙට් සභිකවරියන් දෙදෙනා ද බ්ලැන්ච්ගේ පත්වීමට විරුද්ධව ඡන්දය භාවිත කළහ. ලුසියානා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික බිල් කැසිඩි (Bill Cassidy) විසින් ජයග්‍රාහී තීරණාත්මක ඡන්දය ප්‍රකාශ කරන ලද අතර, කැසිඩි සහ ට්‍රම්ප් අතර වසර ගණනාවක් තිස්සේ පැවැති මතභේදාත්මක සබඳතාව හේතුවෙන් වොෂින්ටනයේ දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය ඔහු වෙත දැඩි ලෙස යොමු වී තිබිණි. තමා කෙරෙහි විශ්වාසය තබමින් ජනාධිපති ට්‍රම්ප් සිදු කළ මෙම පත්වීම පිළිබඳව තමා බෙහෙවින් ගෞරවයට පත් වන බව ඡන්ද විමසීමෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් බ්ලැන්ච් සඳහන් කළේය.

ඡන්ද විමසීමට පෙර ඇතැම් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් බ්ලැන්ච් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ගැන සිය කනස්සල්ල පළ කර තිබිණි. ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) සබඳතාවලට අදාළ ලේඛන ප්‍රසිද්ධ කිරීම හසුරුවන ලද ආකාරය සහ ට්‍රම්ප්ගේ ඩොලර් බිලියන 1.8 ක (පවුම් බිලියන 1.3 ක) "ආයුධයක් ලෙස නීතිය භාවිත කිරීමට එරෙහි" (anti-weaponisation) අරමුදල පිහිටුවීමට ඔහු දැක්වූ දායකත්වය ඒ අතර ප්‍රධාන විය. රාජ්‍ය පීඩාවලට ලක්වූ බව පවසන තැනැත්තන්ට වන්දි ගෙවීම සඳහා මෙම අරමුදල සැලසුම් කර තිබුණ ද, 2021 ජනවාරි 6 වන දින ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට ද ඉන් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි මුර්කොව්ස්කි ඇතුළු විවේචකයෝ බිය පළ කළහ. සෙනෙට් මණ්ඩලයේ ස්ථිර කිරීමේ විමසීම්වලදී එල්ල වූ දැඩි විවේචන හමුවේ එම අරමුදල ක්‍රියාත්මක කිරීමෙන් පසුබැසීමට බ්ලැන්ච් අවසානයේ එකඟ විය. කෙසේ වෙතත්, එම පොරොන්දුව නීත්‍යනුකූලව බැඳී පවතින්නක් ද යන්න හෝ වෙනත් නමකින් එවැනිම යෝජනාවක් නැවත කරලියට ගැනීමට ට්‍රම්ප් විසින් බ්ලැන්ච්ව පෙළඹවීමට ඉඩ තිබේද යන්න සම්බන්ධයෙන් තවමත් පැහැදිලි බවක් නැත.




යුක්ති පදවිය දේශපාලනමය කරුණු සඳහා යොදාගැනීම පිළිබඳව ඇති වූ සැකය මත පදනම්ව සෙනෙට් සභික මුර්කොව්ස්කි සිකුරාදා නිවේදනය කළේ තමා බ්ලැන්ච්ට විරුද්ධ වන බවයි. මෙම පාලනාධිකාරියේ අයහපත් පියවරයන් පාලනය කිරීමට බ්ලැන්ච්ට ඇති හැකියාව කෙරෙහි තමාට විශ්වාසයක් නොමැති බව ඇය එහිදී පැවසුවාය. සෙනෙට් සභික කොලින්ස් ද අභ්‍යන්තර ආදායම් සේවය (IRS) සමඟ පැවැති ඩොලර් බිලියන 10 ක නඩුව විසඳීමේදී බ්ලැන්ච් ඉටුකළ කාර්යභාරය ගැන ප්‍රශ්න කළ නමුදු, ජනාධිපතිවරයාට ස්වාධීන නෛතික උපදෙස් ලබාදීමට ඔහු කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව සඳහන් කළාය.

තීරණාත්මක ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් අදහස් දැක්වූ සෙනෙට් සභික බිල් කැසිඩි කියා සිටියේ, ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති හොඳම විකල්පය බ්ලැන්ච් බව තමා විශ්වාස කරන බවයි. "මෙය ජනාධිපති ට්‍රම්ප් පිළිබඳ ජනමත විචාරණයක් නෙවෙයි, මෙය බ්ලැන්ච් මහතා පිළිබඳව ඉතා නිශ්චිත අවස්ථාවක ගන්නා තීරණයක්," යැයි පවසමින්  කැසිඩි තමාගේ තීරණය සාධාරණීකරණය කළේය. යුක්ති පදවියේ මඟපෙන්වීම තීරණය කරන්නේ ට්‍රම්ප් බව පිළිගත් කැසිඩි, සෙනෙට් සභාවේ ස්ථිරත්වය ලැබීම මඟින් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමට බ්ලැන්ච්ට වැඩි ශක්තියක් ලැබෙන බව ද පැවසීය. 2021 වසරේ පැවැති ට්‍රම්ප්ගේ දෙවන දෝෂාභියෝගයේදී ජනවාරි 6 කැපිටල් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් වරදකරු කිරීමට කැසිඩි ඡන්දය දී තිබිණි. නමුත් එම දෝෂාභියෝගය සම්මත නොවූ අතර, නැවත බලයට පත්වීමෙන් පසු ට්‍රම්ප් විසින් ලුසියානා සෙනෙට් අසනය සඳහා වෙනත් තරඟකරුවෙකුට සහාය පළ කරමින් කැසිඩිව විශ්‍රාම ගැන්වීමට පියවර ගත්තේය.



එක්ස් (X) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් නායක චක් ෂුමර් (Chuck Schumer) සඳහන් කළේ, බ්ලැන්ච්ගේ මෙම පත්වීම ට්‍රම්ප්ගේ දූෂිත ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යාමට ලැබුණු හොඳ අවස්ථාවක් බවයි. බ්ලැන්ච්ට ට්‍රම්ප්ගේ දූෂණ නතර කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති බවත්, ඔහු තම වෘත්තීය ජීවිතය ගොඩනඟා ගත්තේ ඊට අනුබල දෙමින් බවත් ෂුමර් චෝදනා කළේය. ඔහුට පක්ෂව ඡන්දය දුන් සෑම සෙනෙට් සභිකයෙකුම එම දූෂණයට අනුබල දුන් අය ලෙස සලකුණු වී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේ වුවද බොහෝ රිපබ්ලිකන් පක්ෂිකයෝ මෙම ජයග්‍රහණය ඉක්මනින් සමරනු ලැබූහ. සෙනෙට් අධිකරණ කාරක සභාවේ සභාපති අයිඕවා ප්‍රාන්ත රිපබ්ලිකන් සෙනෙට් සභික චක් ග්‍රාස්ලි (Chuck Grassley) එක්ස් හි සටහනක් තබමින් කියා සිටියේ මෙම පත්වීම් ක්‍රියාවලිය පුරාම බ්ලැන්ච් අසාමාන්‍ය ඉවසීමක්, අනුකම්පාවක් සහ නොපසුබට උත්සාහයක් පෙන්නුම් කළ බවයි. බ්ලැන්ච් එම ධුරයට සුදුසුකම් ලබා ඇති බවට කිසිදු සැකයක් නොමැති බව ග්‍රාස්ලි සඳහන් කළේය.

පැම් බොන්ඩි (Pam Bondi) තැනැත්තිය ධුරයෙන් නෙරපා හැරීමෙන් පසුව අප්‍රේල් මාසයේදී තාවකාලික නායකත්වයට පත්වීමට පෙර බ්ලැන්ච් නියෝජ්‍ය නීතිපතිවරයා ලෙස සේවය කරමින් සිටියේය. 2024 වසරේ පැවැති ට්‍රම්ප්ගේ රහස් මුදල් ගෙවීමේ (hush-money) නඩුවේදී ප්‍රධාන නීතිඥවරයා ලෙස කටයුතු කළේ ද බ්ලැන්ච් ය.